April 28, 2024

බෝම්බ ඇඳුම නිසා දිනේෂ්, විමල් CIDයට

පසුගියදා චාවාකච්චේරිය ප්‍රදේශයෙන් සොයාගන්නා ලද අධිබලැති පිපුරුම් ද්‍රව්‍ය සම්බන්ධව කළ ප්‍රකාශයන් පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා සහ විමල් වීරවංශ මහතා යන විපක්ෂයේ මන්ත්‍රීරීවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම පිළිබඳ හිටපු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ රහස් පොලිසිය පසුගිය ඉරිදා (03) ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය.

ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වාකච්චේරියේදී සොයාගන්නා ලද පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙන ඒමට තිබුණ ඒවා බව ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය නිසා මෙම පුපුරන ද්‍රව්‍ය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ කරුණු පිළිබඳ තමාට උපදෙස් දෙන ලද්දේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යැයි රහස් පොලිසියට කරන ලද ප්‍රකාශයේදී මහාචාර්යවරයා පවසා ඇත.

පසුගිය සතියේදී කොළඹදී පැවැත්වුන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ සාමාජිකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇමතීමට නියමිතව සිටියේ ගුණවර්ධන මහතා බවත්, එහෙත් අවසාන මොහොතේදී එම කාර්යය තමාට පැවරුන බවත් පීරිස් මහතා කියා ඇත. ඒ අනුව සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ගුණවර්ධන මහතා විසින් තමාට දැන්වූ අතර ඒ පිළිබඳ තමා සතුව පෞද්ගලිකව දන්නා තොරතුරු නැති බව ඒ මහතා පවසා ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව එබඳුම කතාවක් විරුද්ධ පාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද තමා සමඟ පැවසූ බව ද හිටපු ඇමති පීරිස් මහතා තම ප්‍රකාශය තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පීරීස් මහතාගේ ප්‍රකාශයේ නිවරද්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගුණවර්ධන හා වීරවංශ යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් ද ප්‍රශ්න කරන බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

Rate this item
(1 Vote)