May 13, 2024

'අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත යළි ගෙන ආ යුතුයි' - විමල්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලා සිටී.

ඒ මහතා එම ඉල්ලීම කළේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේ මෙම පනත සඳහා සහාය දුන් පාර්ශව විසින් ඉදිරිපත් කළ සංශෝධන පවා ඊට ඇතුළත්ව නොමැති බව ඔවුන් විසින්ම පෙන්වාදෙන තත්ත්වයක් තුළ එය යළි පාර්ලිමේන්තුවට ගෙන ඒම කළ හැකි කාර්යයක් බවයි.

තමන් ඇතුළු පිරිස පනතට සහය නොදැක්වුවද පනතට සහය දැක්වූ ආණ්ඩුවේම පිරිස් හා විපක්ෂයේ පිරිස් එය සම්මත කරගනු පිණිස සහය දැක්වූයේ තමන්ගේ සංශෝධන ද එයට ඇතුළත්වනු ඇතැයි අපේක්ෂාවෙන් බව ඔහු පෙන්වා දුන්නේය.

එසේ වුවද, ඒ අයුරින් ඊට සහය දුන් පිරිසගේ අපේක්ෂාව හෝ භංගවී ඇති තත්ත්වයක් තුළ නැවත එම පනත පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි බව වීරවංශ මහතා අවධාරණය කර සිටියේය.

මෙම පනත මෙරට 88 - 89 සමයේදී අතුරුදහන්වූ පුද්ගලයින් පිළිබඳව සෙවීමට ගෙනආ පනතක් නොව යුද්ධය ජයග්‍රහණය කළ රණවිරුවන්ට දඬුවම් පමුණුවන්නට කටයුතු කරන චෝදනා ෆැක්ටරියක් නිර්මාණය කරන පනතක් බවත් ඒ අනුව තම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 August 2016 09:06

Related items