May 13, 2024

නව මහ බැංකු අධිපති ගැන ඒකාබද්ධ විපක්ෂයේ දෙබිඩි පිළිවෙතක් - විමල්ගෙන් දෝස්මුරයක් (VIDEO) 

නව මහ බැංකු අධිපතිවරයාගේ පැටිකිරිය සොයා බැලූවිට සෑහීමකට පත්විය නොහැකි බවත් එය සුදුසු පත් කිරීමක් ලෙස පිළිනොගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (04) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“නව මහ බැංකු අධිපතිවරයාගේ පැටිකිරිය සොයා බැලුවාම අපට සෑහීමකට පත් වෙන්න බැහැ. රාජ් රාජරත්නම් මහතාට අයත් ආයතනයක ඔහු ලේකම්වරයකු ලෙස කටයුතුකර තිබෙනවා, රාජා රාජරත්නම් කියන්නේ කුප්‍රකට කොටි හිතවාදී ව්‍යාපාරිකයෙක්. අද වරදකරුවකු ලෙස අමෙරිකානු සිරිගෙදරක දඩුවම් විඳින කෙනෙක්. නව මහ බැංකු අධිපතිවරයා එලෙසම පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කෙනෙක්. මෙවැනි පුද්ගලයකුට මහ බැංකුවේ අධිපතීත්වය භාර දුන්නාම ඒක හරියට ‘නරියාට කුකුල්ලු භාර දුන්නා වගේ’ වැඩක් කියලයි අපට නම් හිතෙන්නේ. ඒක සුදුසු පත් කිරීමක් ලෙස අපි පිළිගන්නෙත් නැහැ.“

“අනෙක් අතට හිටපු මහ බැංකු අධිපතිවරයා මේ රටට කර තිබෙන මහා පරිමාණ වංචාව සහ පාඩුව සම්බන්ධයෙන් කිසිම නීතියක් ක්‍රියත්මක වන්නෙත් නැහැ. අද බැඳුම්කරවලින් කෝටි ගණන් වංචා කරපු අයට නිදහසේ ඉන්න පුළුවන්. ‘වාහනයක් වෙනුවට තවත් එකක් පාවිච්චි කළාද?’ කියන ඒවාටයි අද උසාවිවල නඩු ඇහෙමින් තිබෙන්නේ” යැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් මහ බැංකුවේ නව අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම පිළිගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ට්විටර් පණිවිඩයක් එක්කර තිබිණි.

ඔහු මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ගුණවර්ධන මහතා එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබිණි.

මීට පෙර පොලිස්පති සහ නීතිපති ඇතුළු තනතුරු පත් කරද්දීද පොදු විපක්ෂය විරුද්ධ විය.

දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

 

dinesh 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 14:14