May 06, 2024

'ලබන වසරේ අධ්‍යාපනයට වැඩි මුදලක්' - ජනපති (PHOTOS)

අංගසම්පූර්ණ වූ දැනුම ලබාදීම සඳහා 2016 නව වර්ෂය අධ්‍යාපන අමාත්‍යංශයට විශාල මුදලක් වෙන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. 

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සහභාගී වෙමිනි. නව තරගාවලි වාර්තා 28 ක් බිහි කරමින් එම ක්‍රීඩා උළෙල ඊයේ උත්කර්ෂවත් අන්දමින් අවසන් විය.

එම අවස්ථාවට සහභාගී වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, "අංගසම්පූර්ණ වූ දැනුම ලබා දීම සඳහා අප පසුගිය දශක කිහිපයට වඩා 2016 නව වර්ෂය එළැඹෙන අධ්‍යාපන අමාත්‍යංශයට විශාල මුදලක් වෙන් කරන බව ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්න ඕ‍න. දැනුම ලබාදීම වගේම පාසලෙන් බැහැරව විශේෂයෙන්ම දෙමව්පියන්ගේ ඇසුර තුළ දරුවන් හැදීමේ දී දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සුරක්ෂිත භාවය, මග පෙන්වීම පිළිබඳ අවශ්‍ය නම් වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් අප රජ‍යේ අවධානය යොමු කර ඒ සම්බන්ධ මූලික සැලසුම් මේ වනවිට සකස් කරමින් පවතිනවා. අද සමාජය තුළ දකින බොහෝ අපරාධ දරුවන්ට ඇතිවන හිංසනයන් සැමවිටම අපි දකින කිසිසේත් විශ්වාස කළ නොහැකි දරුවන් මුහුණ දෙන මහා ඛේදවාචකයන් අපේ සමාජයෙන් තුරන් කිරීමට වහ වහාම පියවර ගැනීම වහාම අවශ්‍යයි." යනුවෙන් සඳහන් කළේ ය.

සමස්ත බාලක ශූරතාව හයවැනි වරටත් මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලය හිමිකරගත් අතර, දසවන වරටත් බාලිකා ශූරතාව හිමි කරගත්තේ වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයි.

දින 05 ක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ද ‍මෙම අවස්ථාවට සහභාගි වූ අතර සමාප්ති උළෙල පෙර 400m හතර අවසන් තරග කිහිපයක් ද පවත්වා තිබේ.

මෙවර බිඳ වැටුණු තරගාවලි වාර්තා ගණන 28 කි.

පාසල් දරු දැරියන් සහභාගී වූ විචිත්‍රවත් සරඹ සංදර්ශනයකින්, සමාප්ති උළෙල වර්ණවත් වූ අතර, ඊට චිත්‍රා ලේන් විශේෂ අධ්‍යාපන පාසලේ දරුදැරියන් ද සහභාගිවීම විශේෂත්වයකි.

මාතලේ වීරකැප්පැටිපොල ජාතික පාසල නියෝජනය කරමින් සහභාගී වූ පසිඳු බවන්ත හා අරුණ දර්ශන දෙසොහොයුරන් නව තරගාවලි වාර්තා තුනක් සමග රන් පදක්කම් තුනක් හිමි කරගැනීම මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයකි.

උස පැනීමේ ක්‍රීඩක, ගොඩකවෙල කුලරත්න විද්‍යාලයේ රොෂාන් ධම්මික මෙවර දක්ෂතම ක්‍රීඩකයා ය.

දක්ෂකම ක්‍රීඩිකාව ලෙස කෙටිදුර ධාවන ක්‍රීඩිකා කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සම්මාන දිනාගත්තේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 11:02