May 04, 2024

'අපි බලාපොරොත්තු වූ දේ ලැබුණා' - TNA

September 18, 2015

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ දී එලි දක්වන ලද වාර්තාව අගය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

බීබීසී සිංහල සේවාව සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ ‘එය තමන් බලාපොරොත්තු වූ තීන්දුව’ වන බවයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට ගොදුරු වූ ජනතාව වෙනුවෙන් යුක්තියක් ඉටු කළ හැකි වන්නේ ජාත්‍යන්තර විනිසකරුවන්ගෙන් සැදුම් ලත් අධිකරනයක් තුළින් පමණක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

සිදු වී ඇති අපරාධ සම්බන්ධයෙන් නිසි විභාගයක් පවත්වන්නේ නම් එය ජාත්‍යන්තර විනිශ්චයකරුවන් යටතේ සිදුවිය යුතු බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා පැහැදිලිව සඳහන් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙයි.

එවැනි ජාත්‍යන්තර විනිශ්චයකරුවන් යොදා ගනු ලැබීම ‘දේශීය පරීක්ෂණයක්’ සඳහා වන ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය සමඟ ගැටෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේ, සිදු වී ඇති අපරාධ විභාග කළ හැකි මට්ටමේ ශක්තිමත් අධිකරණ යාන්ත්‍රණයක් අප රට සතුව නොමැති බවයි.

‘මේක දේශීය නැත්නම් විදේශීය ආදී වශයෙන් බලන්න බැහැ.සිදු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර නීතියට හසු වෙන අපරාධ.ශ්‍රී ලංකාව එම වපසරිය අනුව කටයුතු කිරීමට බැඳී සිටින රටක්’ සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදු වී ඇති අපරාධ පිරික්සීමේ ශක්තිමත් දේශීය යාන්ත්‍රණයක් නොමැත යන්න මන්ත්‍රීවරයාගේ ස්ථාවරයයි.

එවැනි පසුබිමක් යටතේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ දී එලි දක්වන ලද වාර්තාව දෙමළ ජාතික සන්ධානය විසින් පිලි ගනු ලබන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

|BBC

Rate this item
(1 Vote)