May 02, 2024
Main

Main (651)

තව වසර දෙකකින් එනම් 2022දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානම් වන බව දැනගන්නට තිබේ.

එය මිට ටික දිනකට පෙර ඉංග්‍රීසි බසින් පළ වන ජාතික පුවත්පතක් ද තහවුරු කර තිබිණි.

මේ වර්ෂයේ නොවැම්බර් 18 වන දිනට 75 වන වියට පා තබන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තව වසර දෙකකින් විශ්‍රාම යාමේදී ඒ පුරප්පාඩුව සඳහා තවත් රාජපක්ෂවරයෙකු පත් වෙතැයි වාර්තා වේ.

හඳුන්වා දීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ බාධකය ඉවත් කිරීමට නියමිත අතර ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ධූරයට බැසිල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාපයේ 74 වන සංවත්සරය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඊයේ (06) මාධ්‍යට දොර වසා දමා පවත්වා තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට ඉතා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සංවත්සරය පවත්වා ඇත.

මෙම සංවත්සරය එජාපය සිය ඉතිහාසයේ පැවැත්වූ සුවිශේෂීම සංවත්සරය වේ.

ඒ එකදු පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව පැවති සංවත්සරය නිසාය.

පසුගිය මහ මැතිවරණයේදී එජාපයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වී අතර මේ වන විටත් ඒ සඳහා කිසිවෙකුත් නම් කර නොමැත.

එජාපයේ 74 වන සංවත්සරය මාධ්‍යට විවෘත නොකළේ ඇයි දැයි යන්න පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අසා දැනගන්නා ලෙස පක්ෂයේ නියෝජය මහ ලේකම් රුවන් විජේවර්ධන මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට තිබේ. 

මෙම සංවත්සරයේ ජායාරූප හා විස්තර එජාප මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කොට ඇති බව දැනගන්නට තිබේ.

මතභේදයට තුඩු දී තිබෙන මහනුවර හන්තානයේ අඩි 3000ට වඩා උසින් තිබෙන ඉඩම තමාගේ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිගෙන තිබෙන්නේ ආණ්ඩුවේ ඉහළම පුද්ගලයෙකුගෙන් ලැබුණු උපදෙස් මත බව දැනගන්නට තිබේ.

ඉඩමේ අයිතිය භාර නොගතහොත් ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට සිදු වන බව ආණ්ඩුවේ බලවතා ඔහුට දැනුම් දී තිබේ.

මෙම ඉඩමේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා ආණ්ඩුවේ මෙම ඉහළ බලවතාට කතා කොට තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

හන්තානේ අඩි 3000ක ඉහලින් තිබෙන සංවේදී ප්‍රදේශ අවසරයකින් තොරව හෙළි පෙහෙළි කිරීම හෝ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම ගැසට් නිවේදන මඟින් තහනම් කොට තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සූදානම් වුවද ඉහත සඳහන් ආණ්ඩුවේ බලවතාගේ මැදිහත් වීම මත එය යටපත් වූ බවද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක, භාණ්ඩාගාරික දයා ගමගේ හා  වජිර අබේවර්ධන යන ජේෂ්ඨයන්ට පක්ෂ නායකත්ව තරඟයෙන් ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා ඒකමතිකව පත්කළ යුතුව නිසා බව වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත දන්වා යවා තිබේ.

පක්ෂ නායකයාගේ මෙම ඉල්ලීමට ඉහත සඳහන් තිදෙනා තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඔවුන් අතුරින් රවී කරුණානායක හා වජිර අභයවර්ධන යන මහත්වරුන් තුළ පක්ෂ නායකයා වීමේ බලාපොරොත්තුව තවමත් තිබෙන බවද  වාර්තා වේ.

මේ වන විට වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නායකත්ව තරඟයෙන් ඉවත් වී ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතාව බෙදීමකින් හෝ ඡන්දයකින් තොරව පත් කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අනුව යළිත් ජනාධිපතිවරයා යටතට බලතල සියල්ලම පත්වනු ඇත.

ඒ අනුව 2015 වට පෙර සිටි පුර්ණ විධායක බලතලවලින් යුත් ජනාධිපති ධූරයක් නිර්මාණය වීමට නියමිතය. ඒ සමඟම අග්‍රමාත්‍ය ධූරය 2015 වට පෙර තිබූ නාමික තත්ත්වයට පත්වනු ඇත.

කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රමාණය සීමාව ඉවත් කිරීම මෙන්ම අවශ්‍ය විටක එම අමාත්‍ය ධූර වෙනස් කිරීම, රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම ධූර පත් කිරීමේ බලතල හිමි වීම, කැමති අමාත්‍ය විෂයක් හෝ විෂයන් ගණනාවක් තමන් යටතේ තබා ගැනීම, නව රජයක් පත් වී වසරක කාලයකින් පසු එය විසුරුවීමේ බලය ඇතුළු 1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් ව්‍යවස්ථාවේ මුලික හරයන් සියල්ලම නව ව්‍යස්ථා සංශෝධනයටද ඇතුළත්ව තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා විසින් එජාපයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා දෙක සැලකිල්ලට නොගෙනම ඉවත දැමීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.

තිස්ස අත්තනායක මහතා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් කරන ලදී.

ඉන් එකක් වූයේ එජාප ව්‍යවස්ථාවේ සුළු වෙනසක් කිරීමෙන් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා දිය යුතු බවය. දෙවැනි යෝජනාව වූයේ මධ්‍යස්ත තුන්වෙනි පාර්ශවයකට එජාප පක්ෂ නායකත්වය තාවකාලිකව ලබා දී ඉන්පසු එය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවය.

සජිත් ප්‍රේමදාස මහතාට කිසිවිටකත් එජාප නායකත්වය ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා තුල කැමැත්තක් නොමැති බව වාර්තා වේ.

ඊයේ (02) මාධ්‍ය හමුවක් තබමින් අත්තනායක මහතා මෙම යෝජනා දෙක ඉදිරිපත් කර තිබිණි.

රුවන් විජේවර්ධන මහතා එජාප නායකත්වයට ගෙන එන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබෙන්නේ ඔහුගේම සොහොයුරෙකු වන චන්න වික්‍රමසිංහ මහතා බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය පවුලට ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන රුවන් විජේවර්ධන මහතාට නායකත්වය ලබා දීමට කාලය එළඹ ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කොට තිබෙන්නේ ඔහුය.

පක්ෂයේ බලය වික්‍රමසිංහ විජේවර්ධන පවුල් වලින් පිටට යෑමට ඉඩ නොතැබිය යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතාට සිය සොහොයුරා පෙන්වා දී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා හා රුවන් විජේවර්ධන මහතා ඥාති සොහොයුරන් වේ. 

ලෝකය පුරා කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

“ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වගේ ඉතාමත් හොඳින් කොවිඩ් පාලනය කළ රටවල පවා නැවත වතාවක් කොවිඩ්-19 රෝගය වාර්තා වීම නිසා ඔවුන්ගේ ප්‍රදේශවල සංචරණය සීමා කරලා, ගමන් බිමන් සීමා කරලා, ඇඳිරි නීතිය පැනවීමට දක්වා ගමන් කරන්න ඔවුන්ට සිද්ධවෙලා තියෙනවා.“ යැයි වෛද්‍යවරයා පැවසීය.

“ඒ වාගේම අමෙරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල්වල රෝගීන් ඉතාම විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉන්දියාව තුළ මේ රෝගය ව්‍යාප්තිය ඉතාමත් වැඩියි. මේ තත්ත්වය යටතේ ලංකාව කුඩා දූපතක් වුණත්, අපේ රට ආරක්ෂිත නැහැ. මේ ලෝකය පුරාම කොවිඩ්-19 රෝගය ව්‍යාප්තවීමත් සමග අපි තවදුරටත් අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. එසේ නැති වුණහොත් වෙන්නේ නැවත වරක් පසුගිය මාස කිහිපයකට පෙර සිටියා ආකාරයට සංචරණ සීමා කරලා. රෝහල් වසා දමා කොවිඩ් රෝහල් බවට පත්කරලා. අපිට අපහසුතාවයට පත්වන්නය සිදුවෙනවා.“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. 

ඔහු මේ බව පැවසූවේ රූපවාහිණී නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

මේ අතර, කොවිඩ්-19 රෝගීන් 37 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3049 දක්වා ඉහළ ගොස් තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් දෙන පිරිස අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතා කඩිමුඩියේ සම්පාදනය කොට ගෙන එන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ව්‍යවස්ථා විරෝධී කරුණු මෙන්ම තාක්ෂණික දෝෂ රැසක් තිබෙන බැවින් එය අධිකරණයක අභියෝගයකට ලක් කළහොත් ඉන් වික්‍රමසිංහ මහතාට සිය ප්‍රජා අයිතිය අහෝසි වීමට පවා ඉඩකඩ තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ 19 වන ව්‍යවස්ථාව ගෙන ඒමට පාර්ලිමේන්තුව තුල මුලික වී කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතා වන නිසාය. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මෙම ව්‍යවස්ථා විරෝධී හා තාක්ෂණික දෝෂ පිලිබඳ කරුණු ඇතුළත් ලිපියක් ඊයේ (30) එක්තරා සිංහල ජාතික පුවත්පතක පළ වී තිබිණි. 

ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට යම් පාර්ශවයක් සූදානම් වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පිරිසක් සූදානමින් සිටියි.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව තෙත්බිම් රක්ෂිතයේ ඉස්සන් වගාව සඳහා ඩොසර් යොදා අක්කර 02ක් පමණ හෙළි පෙහෙලි කිරීම පිටුපස එම දිස්ත්‍රික්කය නියෝජන කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සොහොයුරෙකු සිටින බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ බැකෝ යන්ත්‍රයේ රියදුරු හා එහි හිමිකරු වන ව්‍යාපාරිකයෙකු බවද වාර්තා වේ.

මෙම සිද්ධිය පිටුපස සිටින දේශපාලන සොහොයුරා කවුරුන්ද යන්න තවමත් කරුණු හෙළිදරව් වී නොමැතිමුත් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ පරිසර සංවිධාන යම් යම් ඉඟි පළ කරමින් සිටියි.

දැනගන්නට තිබෙන ආකාරයට ඊට ටික කලකට පෙර කඩොලාන කැපීමේ සිද්ධියක් හා බැඳුනු ඔක්සිජන් කතාවක් හේතුවෙන් රටේම අවධානයට ලක් වූ දේශපාලනඥයෙකුගේ සොහොයුරා මෙම සිද්ධියට අදාළ තැනැත්තා බවද සැක මතුවෙමින් පවතී.