April 26, 2024

බටලන්දේ චූදිතයාගෙන් තරුණ අරගලයට තල්ලුවක්

එක්සත් ජාතික පක්ෂ නායකයා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තැනේ හැටියට ඇණේ ගැසීමට දක්ෂයෙක්.

පසුගිය දින කිහිපයේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුවට විවිධ උපදෙස් දුන් වික්‍රමසිංහ මහතා මේ වන විට තරුණ අරගලයටද මුට්ටියක් දමා තිබෙනවා.

තරුණ ප්‍රජාව

ඒ පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් තරුණ කණ්ඩායම හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගෙන යන අරගලයට සහය දක්වන ලෙසට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරමින්.

වික්‍රමසිංහ මහතා මේ බැව් සඳහන් කර තිබෙන්නේ තරුණ තරුණියන් පිරිසක් ඔහු හමුවී වත්මන් තරුණ අරගලය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

එවැනි ප්‍රශ්නයක් යම් පාර්ශවයක් හරහා තමා වෙත යොමු කර ඊට පිළිතුරු දීම වික්‍රමසිංහ මහතා සතු දක්ෂකමක්.

පක්ෂයේ සහාය

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සමඟ එක්ව සාමකාමී අයුරින් තරුණ අරගලයට සහය දක්වන ලෙස පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.

වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළද තරුණ අරගලය දියත් වන්නේ ඊට කිසිදු දේශපාලන පක්ෂයක් සම්බන්ධ කර නොගැනීමේ දැඩි පදනමක් තුළයි.

තරුණ අරගලයට සහය දීම ගැන කතා කරන වික්‍රමසිංහ මහතාට 1988 - 89 භීෂණ සමයේ ඇමතිවරයකු ලෙස තරුණ තරුණියන් ඝාතනය කළ බටලන්දේ වදකාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 11 April 2022 22:16