April 27, 2024

මැච් එකට පිච් එක සූදානම්! මැච් එක කලින් තියලා පැරදුණු හැටිත් සිහිවෙයි!

February 11, 2022

ප්‍රේමදාසගෙන් රාජපක්ෂට පිළිතුරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (09) අනුරාධපුරයේ දී පැවැති ජන රැළියේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ අභියෝගයට සමගි ජන බලවේග පාර්ශවයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මැතිවරණයක් සම්බන්ධයෙන් එම අභියෝගය සිදු කළා.

රැළිය අමතමින් ඔහු මෙලෙස පැවසුවා.

“අපි ඒකට සූදානම්. අපි සූදානම් වෙන්න ඕන. ජනතාව සූදානම් කරන්න ඕන. මතක තියාගන්න ඕන ඒ අය, අපිටත් හොඳට මහ පාර පුරුදුයි. අපිටත් ගොඩබිම හුරුයි. අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි. අපිට පාද යාත්‍රා ගිහිල්ලාත් පුරුදුයි. අපිත් දැන් පාරට එනවා. අපිත් කම්කරුවෝ අතරට යනවා. ගොවියෝ අතරට යන්න සූදානම්. ජනතාව අතරට යනවා. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්”

අග්‍රාමාත්‍යවරයාගේ මම ප්‍රකාශයට සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) ප්‍රතිචාර දක්වා සිටියා.

කොළඹ නව නගර ශාලාවේ දී පැවැති රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනයේ පළමු මහා සමුළුවට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව යි.

“අර්ථසාධකයටත් පික්පොකට් ගහන්නට මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ජනතාවට පික්පොකට් ගහපු ආණ්ඩුවලට කවදාවත් පැවැත්මක් තිබුණේ නෑ. අර්ථසාධකයට පික්පොකට් ගහන්න ගිහිල්ලා රොෂේන් චානකගේ ජීවිතයත් අහිමි කළා. නමුත් ඒ ජීවිත පරිත්‍යාගයත් සමග වෙනසක ආරම්භය එදා නිර්මාණය වුණා. මම දුටුවා ඊයේ දවසේ අභියෝගයක් කරනවා, මැතිවරණයකට මුහුණ දෙන්න එන්න කියලා. අපි නෙවෙයි පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. පළාත් සභා මැතිවරණය පවත්වන්නට මැළිකමක් දක්වන්නේ. ඕනම වෙලාවක අපි මැතිවරණයකට සූදානම්. අපි මැතිවරණවලට බය වෙන්නේ නෑ”

සජබෙන් අගමැතිට අභියෝගයක්

විපක්ෂ නායකවරයා එලෙස පවසද්දී පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූවා.

ඒ ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින්.

සමගි ජනබලවේග මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා එහි දී ප්‍රකාශ කළේ අගමැතිවරයාගේ අභියෝගය භාර ගැනීමට සිය පක්ෂය සූදානම් බැවින් ජනවරම උරගා බැලීම සුදුසු බව යි.

රාජපක්ෂ පාර්ශවය මීට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වූ මහජන රැළි සමග සැසඳීමේ දී ඉතා අඩු ජන සහභාගීත්වයක් පෙරේදා රැළියට ලැබී ඇති බව පෙන්වා දෙන මරික්කාර් මහතා අවධාරණය කළේ සමගි ජන බලවේගයේ මීලඟ ජන රැළිය කොළඹ හෝ නුවර නොව සල්ගාදු ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට කටයුතු කර ජනවරම ඇත්තේ කොතැනදැයි පෙන්වන බව යි.

“අපි අගමැතිතුමාගේ අභියෝගය භාර අරගෙන එතුමාට කියනවා, තමුන්නාන්සේලා බයේ කල් දාපු පළාත් පාලන මැතිවරණය තියන්න. ඒ අභියෝගය භාරගන්න සමගි ජනබලවේගය ලෑස්තියි. ජනවරම ටෙස්ට් කරලා බලමු. කොයි පැත්තෙ ද ජනමතය තියෙන්නේ කියලා. ඔබතුමාගේ අභියෝගය භාරගත්තා. අගමැතිතුමා පුළුවන් නම් අපේ අභියෝගය භාරගන්න” 

මැතිවරණය දෙන්න ආණ්ඩුව සූදානම්

මේ අතර විපක්ෂය ඉල්ලා සිටින නිසා මැතිවරණයක් ලබා දීමට ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

කොවිඩ් වසංගතය හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇති බවට ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කළ බව පෙන්වා දුන් බණ්ඩාර මන්ත්‍රීවරයා අසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ දී පැවැත්වූ රැළිය හරහා මැතිවරණ කටයුතුවලට කොවිඩ් තත්ත්වය බල නොපාන බව ඔප්පු වූ හෙයින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය හැකි නොවෙද යන්න යි.

පිළිතුරු ලබා දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ ඡන්දය ලබා දීමට ආණ්ඩුව ඕනෑම මොහොතක සූදානම් බව යි.

මහින්ද රාජපක්ෂ යනු නියමිත කාලයටත් පෙර ඡන්දයක් පවත්වා පරාජය වූ නායකයෙකු බව ඔහු සිහිපත් කළා.

එබැවින් රාජපක්ෂවරු යනු ඡන්දවලට බිය කණ්ඩායමක් නොවන බව යි ඔහු සඳහන් කර සිටියේ.

නියමිත වේලාවට ඡන්දය පවත්වන බවත්, එයට සූදානමින් සිටින ලෙසටත් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගය වෙත ප්‍රකාශ කළා.

නාමල්ගේ ඉල්ලීම

මේ අතර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ඉදිරි මැතිවරණය පිළිබඳ අදහස් පළ කළා.

මෙරට නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය යුතු බව ඊයේ (10) කුරුණෑගල දී ඔහු පැවසුවා.

මහින්ද රාජපක්ෂ යනු ඉතිහාසයේ මැතිවරණ ඉල්ලා සටන් කළ නායකයෙකු බවත්, ජනතාව කැමති මන්ත්‍රීවරයෙක්, ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් තෝරාගැනීමට ඉඩ ලබා දිය යුතු බවත් පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සූදානමින් සිටින බව යි.

එමෙන්ම හැකි පළමු අවස්ථාවේ දීම පළාත් පාලන මැතිවරණය තැබීමට කටයුතු කරන ලෙස තමන් මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා සිටින බව යි ඔහු කියා සිටියේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 18:03