April 26, 2024

වෙළඳපොලේ තියෙන්නේ ප්‍රමිතියෙන් තොර පොහොරද? මෙහෙයුම් අරඹයි

ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන්නේ දැයි සොයා බැලීමේ විශේෂ විමර්ශනයක් ඊයේ (05) කෘෂිකර්ම නිලධාරීන් විසින් හලාවත ප්‍රදේශය තුළ සිදු කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස ඇසුරුම් කරන ලද පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඇතැම් ව්‍යාපාරිකයින් විසින් තමන්ට අලෙවි කරන බවට හලාවත දැදුරුඔය දෑලේ වගා කටයුතු කරන ගොවීන් කෘෂිකර්ම නිලධාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘමි නාශක වර්ග භාවිතා කිරීම හේතුවෙන් තම වගා බිම් වලට හානි සිදු වී ඇති බවද ගොවීන් විසින් කර ඇති පැමිණිල්ලේ සදහන් වෙනවා.

කෘෂිකර්ම නිලධාරීන් පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන දැඩි ලෙස පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

සමාගම් විසින් අලෙවිය සදහා ලබා දෙන පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබදව නිවැරදි දත්ත ලේඛනයක් මෙන්ම සෑම අලෙවි කිරීමක් වෙනුවෙන්ම බිල් පතක් නිකුත් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු බව කෘෂිකර්ම නිලධාරීන් අලෙවි කරන පුද්ගලයින්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියා.

මෙම විමර්ශණයට එක්ව සිටි පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය මෙසේ කියා සිටියා,

"ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘමි නාශක වර්ග තමන්ට ඇතැම් ව්‍යාපාරිකයින් විසින් අලෙවි කර ඇති බවට ගොවීන් අපට පැමිණිළි කර සිටියා. අද මේ විශේෂ විමර්ශණය සිදු කරනු ලැබුවේ ඒ අනුවයි. මේ ආකාරයේ විමර්ශණ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් කිසිදු ව්‍යාපාරික ස්ථානයකින් අපට ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස ඇසිරූ පොහොර හෝ කෘෂි රසායණික ද්‍රව්‍ය හමුවුනේ නැහැ. මෙම විමර්ශණයේදී අනාවරණය වූ එක් කරුණක් වන්නේ කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් ගොවිපොළවල් වලටම ගොස් විවිධ පොහොර සහ රසායනික ද්‍රව්‍ය අලවි කරන බව. පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කිරීමට නම් ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් ලබා ගත යුතු වනවා. එසේ බලපත්‍ර ලබා නොගෙන කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් පොහොර හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන්නේ නම් ඒක වරදක්. මෙහිදී ගොවීන්ගේ යුතුකම මෙන්ම ප්‍රධානතම කාර්ය වන්නේ පොහොර සහ රසායනික ද්‍රව්‍ය අලවි කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇති ස්ථානයකින් තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමයි. එසේ නොමැතිව ලාබෙට ගොවිපලටම ගෙනවිත් දුන් නිසාම මිලදී ගැනීම් නොකළ යුතුයි. අපි ඒ සම්බන්ධයෙන්ද මේ වන විට සොයා බලමින් සිටිනවා."

(ජුඩ් සමන්ත)

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 18:03