April 27, 2024

වැස්ස නිසා ජන ජිවිතයට යළිත් බාධා

November 25, 2021

දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවා.

උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව ජනතාවට දැනුම්දීමක් කරනවා.

පසුගිය දින දෙකක් පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් අද (25) උදෑසන සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි පහ බැගින් විවෘත කිරීමෙන් පසු පාදෙණිය - අනුරාධපුර ප්‍රධන මාර්ගය දැදුරුඔය පාළම ආසන්නයෙන් ජලයෙන් යටවී තිබුණා.

දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කුරුණෑගල පාදෙනිය හරහා අනුරාධපුර ප්‍රධාන මාර්ගය මේ වනවිට ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම පුත්තලම නිකවැරටිය මාර්ගය නිකවැරටිය පාලම අසලින් ජලයෙන් යටවීමට ඉතා ආසන්න මට්ටමේ පවතින බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු 8ක් මේ වනවිට අඩි 5 බැගින් විවෘත කර තිබෙනවා.

එමගින් තත්පරයට ඝන අඩි 28,000 ක ධාරිතාවයකින් ජලය නිකුත් කරමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

මේ හේතුවෙන් බිංගිරිය, රස්නායකපුර, නිකවැරටිය, කොබෙයිගනේ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් කලාපවල ජනතාව හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.  

මේ හේතුවෙන්  පාදෙණිය නගරයෙන් අනුරාධපුර දෙසට මාර්ගයේ වාහන ගමනාගමනය මේ වන විට නවත්වා ඇති අතර  අද උදෑසන 9.00 වනවිට මාර්ගය අඩි හතරක් පමණ ජලයෙන් යටව තිබුණා.

කොබෙයිගනේ, නිකවැරටිය, බිංගිරිය සහ හලාවත වැනි ප්‍රදේශ වල දැදුරුඔය ආසන්නයේ පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසුවා.

දොරටු අටම විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 28,000 ක ජල පරිමාවක් ජලාශයෙන් දැදුරුඔය වෙත නිකුත් කෙරෙන අතර මෙම තත්වය දැදුරුඔය පහල ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවද ඉන්ජිනේරුවරයා සඳහන් කළා.

ජල ගැලීම හේතුවෙන් වාරියපොල එබවළපිටිය ප්‍රදේශයේ ගොඩනැගිලි කීපයක්ද ජලයෙන් යටවී තිබුණා.

මේ අතර උතුරු පලාතට නැවත වරක් අධික වර්ෂාවක් ඇදහැලීමත් සමග දිස්ත්‍රීක්ක කිහිපයකට ගංවතුර තත්වයන් ඇතිවීම නිසා රජයේ ආයතන නිලධාරීන් ඇතුලු දහසකට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන කාර්යාලය පවසනවා.

යාපනය කරෙයි නගර් ප්‍රදේශයේ පවුල් 205කට අයත් පුද්ගලයින් 703 දෙනෙකු ගංවතුර සහ සුලං හේතුවෙන් පීඩාවනට පත්ව ඇති බවට යාපනය ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙනවා.

මේ අතර වව්නියාව උතුර නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, පොලිස් ස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලය ඇතුලු ස්ථානවලට ප්‍රධාන මාර්ග කිහිපයකට ගංවතුර තත්වයන් බලපෑම හේතුවෙන් දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රීක්කයේද පවුල් 100 කට ආසන්න පුද්ගලයින් 250 කට අධික පීඩාවන්ට පත්ව සිටිනවා.

තවද මුලතිව් මැරිටියන්පත්තු ප්‍රදේශයේ මුහුදු ජලය ගොඩගැලීම හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති අතර පීඩාවන්ට පත්වූවන් වෙනුවෙන් ආපදා කලමනාකරන ඒකකයන් විසින් පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල උතුරු පලාතට ඇදැහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ග්‍රාමීය මාර්ග දැඩිලෙසින් අබලන්විම නිසා පාසල් ළමුන් පීඩාවන්ට පත්ව සිටිනවා.

යාපනය දිස්ත්‍රීක්කයේ ඇතැම් ග්‍රාමීය මාර්ග මඩුගොහොරු බවට පත්වීම හේතුවෙන් එම මාර්ගවල ගමන්කිරීමට නොහැකි වී ඇති අතරම පාසල් ළමුන්ගේ ගමනාගමනය අඩාල වී තිබෙනවා.

ඇතැම් මාර්ගවල පාසල් ළමුන් ගමන්කිරීමේදී බොහෝ සෙයින් ඔවුන්ගේ නිලඇඳුම්වලට හානි සිදුවන අතරම මේ හේතුවෙන් ළමුන් පාසල් පැමිණීමේද අඩුවක් ඇති බවට උතුරේ පාසල් ගුරුවරුන් පෙන්වා දෙනවා.

තවද කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයෙහි පාසල් කිහිපයක ළමුන්ට ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් පාසල වෙතට පාගමනින් ගමන්කිරීමේදී වර්ෂාව සහ ගංවතුර තත්වයන් නිසා දැඩි පීඩාවන්ට පත්වන අතරම එමගින්ද ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 13:11