April 27, 2024

කින්නියා ජීවිත නැති වුණේ පාලමක් නැති නිසා (PHOTOS)

November 23, 2021

කින්නියා පොලිස් වසමට අයත් කුරුඤ්ඤංකේණි ප්‍රදේශයේ  අද (23) පාලම් පාරුවක් පෙරලියෑමෙන් හය දෙනෙකු දියේ ගිලි මියගිය අතර ඉන් බේරුණු 14කු  රෝහල් ගතකල බව  පොලිසිය කියයි.

කුරුඤ්ඤංකේණි පාලම අබලන්නිසා නව පාලම ඉදිකිරිම සිදුවන අතර කුරුඤ්ඤංකේණි ජනතාව පෞද්ගලික අයෙකු යොදවා තිබු පාලම් පාරුවෙන් ගමන්කරද්දි මෙම අනතුර සිදු වී තිබෙනවා. ඔරු තුනක් එකට කර පිටත සවිකර බෝට්ටු එන්ජින් දෙකක් යොදා මුදලට ජනතාවට ගමනාගමන පහසුකම් සපයද්දි මෙම අනතුර සිදු වී ඇත්තේ පාලම් පාරුවේ සමතුලිත බව ගිලිහි යෑම නිසායි.

පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ 20ක් පමණ එහි ගමන්කර ඇති අතර මියගිය හය දෙනාගෙන් තිදෙනෙකු පාසල් සිසුන් බවයි. මියගිය අය අතර එකම පවුලේ මවක් හා දියණියක් ද වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුරුඤ්ඤංකේණි පදිංචිකරුවන් වන පාතිමා සකීලා (06) පරිඩ් පාසිම් (08) පාතිමා සීරීන් (06) අබ්දුල් කාදර් (70) සමග සෙහු සබ්රියා (30) මව හා ඇගේ දියණිය වන සේහු සහිරා (03) යන අයයි.

සිද්ධිය දැකබලා ගැනිමට  විශාල පිරිසක් එම ස්ථානයට ඇදි යෑම නිසා තත්වය පාලනය කිරිමට පොලිසියට මාර්ග වසා දැමීමටද සිදු වුණා. නාවික හමුදාව, පොලිසිය පොලිස් ජිවිතාරක්ෂක ඒකකය ප්‍රදේශවාසින් එක්ව මියගිය අයගේ මළ සිරුරු ගොඩ ගැනිමට කටයුතු කළා.

කින්නියා රෝහල ගැන ගම්වැසියෙක් වේදනාවේ මෙසේ සඳහන් කළා,

"ගරු ජනාධිපතිතුමනි කින්නියා රෝහල අන්තිම සවුත්තුයි. කී දෙනෙක් නම් මළාද? කවුද වග කියන්නේ? මේ අපේ දරුවෝ."

මෙම ස්ථානයේ පාලමක් සාදා දෙන ලෙස ගම්වැසියන් ඉල්ලා සිටියේ මීට අවුරුදු ගණනාවකට පෙරයි. 

පසුගිය අප්‍රේල් 11 වනදා පාලමක් සෑදීම සඳහා මුල් ගල් තැබූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රකෝප වු පිරිස් කින්නියා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට කඩා වැදිමට උත්සහ කිරිම නිසා පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තර කළා. සිද්ධිය සොයා බැලිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලට පැමිණි ත්‍රිකුණාමල දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා ඇතුලු නිලධාරින්ට පිටතට යෑමට නොහැකිව පැය කිහිපයක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුල සිරවි සිටිමටද සිදු වුණා.

දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසුවේ කලහකාරින්  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගල් ගැසිම නිසා දොර ජනෙල් විදුරුවලට හානි සිදු වු බවයි. පැය තුනකට අධික කාලයක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදිසිටි පිරිස්  විසිර ගියා. මේ තත්වය තුල කින්නියා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කටයුතු වලටද  බාධා එල්ල වුණා.

රෝහල්ගත කර ඇති 16 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වන අතර එක් අයෙකු කින්නියා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. අනෙක් රෝගියා ත්‍රිකුණාමල මහා රෝහලට මාරුකර යවා තිබෙනවා.

කලහාකාරින් කුරුඤ්ඤංකේණි ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරිමත් සිසුන්ට සිදු වු අනතුර සැලවීමත් නිසා ඒ අවට පාසල්වල සිසුන්ගේ පැමිණිමද අඩු වී ගියා. කින්නියා පොලිසිය සිද්ධීය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 14:50