May 17, 2024

බේබද්දන්ගේ වටිනාකම ආර්ථිකයට තදින් දැනිලා: ඇමතිත් පිළිගනියි

September 11, 2021

රට වසා දැමීම නිසා මේ දින වල රටට බරපතළ ලෙස අහිමි වන බදු ආදායම පිළිබඳ හෙළිදරව්වක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කර තිබෙනවා.

ඒ ප්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ කොවිඩ් මර්ධන කාර්ය බලකා රැස්වීමේදී ජනපති නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බදු ආදායම අහිමි වීම

එහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ දිනවල රටට අහිමි වෙන බරපතලම බදු ආදායම සුරාබදු ආදායම බවයි.

සුරා හල් වසා තැබීම නිසා ජනතාව විකල්ප ක්‍රම හොයමින් නීති විරෝධී මත්පැන් භාවිතයටද යොමුව තිබෙන බවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදී තිබෙනවා.

පොලිස්පතිගේ අදහස

මුදල් අමාත්‍යවරයාගේ එම අදහස තහවුරු කරමින් එම රැස්වීමට සහභාගි වූ පොලිස්පතිවරයාද සඳහන් කර තිබෙන්නේ මත්පැන් ලබා ගැනීමට ක්‍රමයක් නැති වීම මත බොහෝ දෙනෙකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදන මිලට ගැනීමට පෙළඹී ඇති බවයි.

එපමනක් නොව ඒ හේතුවෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනද වේගවත් වී ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

සුරා බදු ආදායම බරපතළ ලෙස අහිමි වූවත් අපනයන නිෂ්පාදන සියල්ල හොඳින් ක්‍රියාත්මක වන බවද එහිදී මුදල් අමාත්‍යවරයා ජනපතිවරයා අමතා සඳහන් කොට තිබෙනවා.

එහෙත් මෙම රැස්වීමේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා රට තව දුරටත් වසා තබනවාද නැතිනම් අරිනවද යන්න  පිළිබඳව කිසිදු මතයක් ප්‍රකාශ නොකළ බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 September 2021 13:47