April 26, 2024

වසංගතය ගැන පවිත්‍රා හිටියේ සුරංගනා ලෝකයක: ආණ්ඩුවෙන්ම හෙළිදරව්වක්

September 04, 2021

තමා හිටපු සෞඛ්‍ය ඇමැතිවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් වසංගත තත්ත්වයේ අනාගතය පිළිබඳව කියූ දේවල් ඇය පිළි නොගත් බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා හෙළිදරව් කරනවා.

ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන මහාචාර්ය විතාරණ ජාත්‍යන්තර අත්දැකීම් පවා ඇති වෛරස්වේදය පිළිබඳව විශේෂඥ වරයෙක්.

බරපතළකම පෙන්වා දුන්නා

සමාජය තුළ බරපතළ ලෙස කොවිඩ් වර්ධනය වෙමින් තිබෙන බව තමා ඇයට පෙන්වා දුන් බවත් ඊට පිළියම් ලෙස ගම් මට්ටම දක්වා කොවිඩ් කමිටු පිහිටුවන ලෙස යෝජනා කළ බවයි මහාචාර්ය විතාරණ අවධාරණය කරන්නේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් කොවිඩ් කමිටු පත් කිරීමටත් යෝජනා කළ බව පෙන්වා දෙන මහාචාර්ය විතාරණ ඒ අවස්ථාවේ තමාට මේ සම්බන්ධයෙන් කොවිඩ් කමිටුවේ අදහස් ගන්නා ලෙස වන්නිආරච්චි මහත්මිය උපදෙස් දුන් බවත් සඳහන් කරනවා.

වෙන මතයක

වෛරසය සමාජ ගතවී තිබෙන බැවින් එය මුල් කරගෙන විසඳුම් ගෙන ආ යුතු බවට තමන් ඉදිරිපත් කළ කිසිදු අදහසක් හෝ යෝජනාවක් වන්නිආරච්චි මහත්මිය පිළි නොගත් බවත් කොවිඩ් වසංගතය සමාජ ගත වී නොමැති බවට යන ස්ථාවරයේ වන්නිආරච්චි මහත්මිය තදින්ම සිටි බවයි මහාචාර්ය විතාරණ පෙන්වා දෙන්නේ.

ඒ නිසා මෙතරම් අනතුරක් පෙන්වා දෙද්දීත් ඒ ගැන හිටපු ඇමතිවරිය අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් තමා කුමක් කරන්නදැයි මහාචාර්ය විතාරණ ප්‍රශ්න කරනවා.

ලංකා සමසමාජ පක්ෂයේ නායකයාද වන මහාචාර්ය තිස්ස විතාරණ මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 September 2021 14:28