May 18, 2024

විමල් වීරවංශ සිංහල සිනමාවට : මංගල පියවර අද තබයි

මේ වන විට තමන් නියෝජනය කරන ආණ්ඩුව තුළින්ම සිදුවන විවිධ කෙනෙහෙලිකම් වලට මුහුණ දී සිටින විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍යවරයා සිංහල සිනමාව ගැන විශේෂ අවධානය යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සිංහල චිත්‍රපට කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් හා සිනමාව , කර්මාන්තයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස සිනමා ක්ෂේත්‍රය තුළින්ම කෙරුණු ඉල්ලීමක් පිළිබඳව වීරවංශ අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

වෘත්තිකයන්ගේ සංසද හතක් සාකච්ඡාවට

එහි ප්‍රතිඵලයක් ලෙස අද (5) සිනමාවට සම්බන්ධ වෘත්තිකයන්ගේ සංසද 7ක නියෝජිතයින් සමග වීරවංශ අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි බවයි දැනගන්නට තිබෙන්නේ.

සිනමාව කර්මාන්තයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉතා දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා සිය කර්මාන්ත අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට සූදානම් බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙන අතර ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙසයි වෘත්තිකයන්ගේ සංසද වලින් ඉල්ලීමක් කර තිබෙන්නේ.

කර්මාන්තයක් ලෙස නඟා සිටුවීම

කොවිඩ් වසංගතය හේතුවෙන් සිනමා ශාලා මාස ගණනාවක් වසා තැබීම හේතුවෙන් සිනමා ශාලා හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අවධානය මෙම සාකච්ඡාවේදී යොමු කර ඇති අතර චිත්‍රපට ක්ෂේත්‍රය කර්මාන්තයක් ලෙස පිළිගැනීම තුළින් එවන් අර්බුදකාරී අවස්ථාවලදී යම් සහනයක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

විමල්ට අයිති නැති විෂයක් 

විමල් වීරවංශ අමාත්‍යවරයා චිත්‍රපට කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කළද එය විමල් වීරවංශ අමාත්‍යවරයාට අයත් නොවන විෂයක් වන අතර එම විෂය ගැසට් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා යටතේ තිබෙන බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යටතටය.

චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නියෝජනය කරමින් ජයන්ත චන්ද්‍රසිරි හා බෙනට් රත්නායක යන මහත්වරුන්ද , රංගන ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් දමිතා අබේරත්න මහත්මිය හා බිමල් ජයකොඩි මහතාද සංස්කරණ ශිල්පීන්ගේ සංගමය නියෝජනය කරමින් රවීන්ද්‍ර ගුරුගේ මහතාද , බෙදා හරින්නන්ගේ සංගමය නියෝජනය කරමින් අනුරාද රැකව මහතාද , අංග රචනා ශිල්පීන්ගේ සංගමය වෙනුවෙන් වසන්ත විට්ටච්චි හා නයන උචිත යන මහත්වරුන්ද , කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය නියෝජනය කරමින් අජන්ත අලහකෝන් මහතාද , සහාය අධ්‍යක්ෂවරුන්ගේ හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් චරින් මධුරංග හා චාමර සේලර යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 05 July 2021 20:30