April 26, 2024

අර්ජුන කියන්නේ පට්ටපල් බොරුවක්: සෝභිත හිමි නම් කළේ මේ නම

2015 පැවති ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් තමාව යෝජනා කළ බවට අර්ජුන රණතුංග මහතා කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම සාකච්ඡා වලට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රධානියෙකු සඳහන් කරනවා.

යෝජනා කළේ කරුගේ නම

එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ධුරයක් දරමින් මෙම සාකච්ඡා වලට සහභාගි වූ ඔහු අද වෙනත් පක්ෂයක් නියෝජනය කරන අතර සිය නම හෙළි නොකිරීමේ එකගතාවය මත අදහස් පළ කරමින් සඳහන් කරන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් කිසිවිටෙක අර්ජුන රණතුංග මහතාගේ නම පොදු අපේක්ෂකයා ලෙස යෝජනා නොකළ බවයි.

මලික් සමරවික්‍රම මහතාද තමා සමඟ එදා එම සාකච්ඡා වලට සහභාගි වූ බවත් පොදු අපේක්ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් යෝජනා කළේ කරු ජයසූරිය මහතාගේ නම පමණක් බවයි හෙළිදරව් කරන්නේ.

අගමැතිකමට නම් කළේ මෛත්‍රීපාල

පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා පමණක් නොව අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් කඩාගෙන ඒමට පොරොන්දු වී සිටි එවකට ශ්‍රී.ල.නි.ප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාවද නම් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

එහෙත් එම පණිවිඩය පෙරළා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් විට ඊට ඔහුගෙන් ලැබුණේ ප්‍රතිවිරෝධී ප්‍රතිචාරයක් බවත් තමාට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න කෙනාට පොදු අපේක්ෂකත්වය දීමට තමා කිසි විටෙකත් එකඟ නොවන බව දැනුම් දුන් බවයි ඔහු හෙළිදරව් කරන්නේ.

කරු ගැන රනිල්ගේ බිය

ඒ හැරුණු කොට කරූ ජනපති , මෛත්‍රිපාල අගමැති උනහම තමාට හිමි වන්නේ කුමක්දැයි වික්‍රමසිංහ මහතා පෙරලා ප්‍රශ්න කළ බවත් ඔහු හෙළිදරව් කරනවා.

යම් හෙයකින් කරු ජයසූරිය මහතා ජයග්‍රහණය කළහොත් පක්ෂ නායකත්වය ඔහුට දීමට සිදුවන බවට බියකුත් වික්‍රමසිංහ මහතා තුළ ඒ අවස්ථාවේ තිබූ බවත් ඔහු අවධාරණය කරනවා.

යළි පෙරළා එම පණිවිඩය මාදුළුවාවේ සෝභිත හිමියන්ට දැනුම් දුන් අතර ඒ අනුව කරූ ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා කිරීමේ බලාපොරොත්තුව උන්වහන්සේ අතහැරි බවත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම පොදු අපේක්ෂකයා ලෙස පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙස බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමියන් 2015 පොදු අපේක්ෂකයා ලෙස තමාව නම් කළ බවත් ඉදිරියේදී පාකිස්තානයේ ඉම්රාන් ඛාන් මෙන් රටේ නායකයා වීමට තමන් සූදානම් බවට අර්ජුන රණතුංග මහතා කර තිබිණ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 08:29