April 27, 2024

පළාත් සභා වැඩෙත් බැසිල් අතට ගනී - නව මැකෝ සමග විශේෂ සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ වගකීම බැසිල් රාජපක්ෂ මහතා විසින් බාරගෙන තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව ඉකුත් 17 වැනි දින බැසිල් රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති නිමල්.ජී.පුංචිහේවා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද හෙළිදරව් වේ.

මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කොට තිබෙන්නේ පළාත් සභා මැතිවරණය කල් යාමට හේතු වූ කොට්ඨාශ නියෝජනය හා සමානුපාතික නියෝජනය යන ක්‍රම දෙකම ඇතුලත් මැතිවරණ ක්‍රමය පිළිබඳවය.

අලුතින් සීමා නිර්ණය සිදු නොකොට මීට පෙර තිබුණු සීමා නිර්ණය යටතේ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපති වරයා හමුවීමට පෙර දින එනම් මාර්තු 16 වැනිදා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්චා කොට ඇති අතර මැතිවරණ ක්‍රමය පිළිබඳ ඉක්මන් තීන්දුවක් ගෙන පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතු බවට ඒකමතික තීන්දුවකට පැමිණ තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙටි කාලයක් තුළ නව පනතක් සෑදීමට නොහැකි වූවොත් පැරැණි සමානුපාතික ක්‍රමයටම මැතිවරණය පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

එළඹෙන අප්‍රේල් මස දී පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවට මතයක් පසුගිය කාලය පුරා ප්‍රචාරය වුවද පවතින තත්වය හමුවේ එය ලබන මසදී පැවැත්වීමට නොහැකි බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 12:20