April 27, 2024

විමල් පුනරුත්ථාපනය නොවුනොත් ගන්නා තීන්දුව ගැන බැසිල් පසුපෙලට දන්වයි Featured

විමල් වීරවංශ අමාත්‍යවරයා ස්වයං පුනරුත්ථාපනයකට ලක්ව නිසි මගට යොමු නොවුවහොත් ගන්නා පියවර සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ව දැනුවත් කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා පසුපෙළ මන්ත්‍රීවරුන්ව මෙසේ දැනුවත් කොට තිබෙන්නේ එම මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව ඔවුන්ව හමුවූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී පසුපෙළ මන්ත්‍රීවරුන් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නම නොකියා ඔහු විසින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා ආණ්ඩුව තුළම වෙනම කල්ලි කණ්ඩායම් හදමින් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විවෘතවම කතා කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳවද බැසිල් රාජපක්ෂ මහතා විවෘතවම පිළිතුරු දී තිබේ.

2010 බිහිකළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳ දැමීමට ආණ්ඩුව තුළ සිටම ඇතමුන් කළ ද්‍රෝහී ක්‍රියාවන් පිළිබඳව විස්තරයක් කර තිබෙන බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවක වැරදි තිබේ නම් ඒවා හැමෝම බෙදාගත යුතු බවත් එහෙත් සිදු වූයේ ඒ කුණු සියල්ලම මහින්ද රාජපක්ෂ හිතවාදී පිරිස් තුළට දැමූ බවත් මේ වතාවෙ එවැනි දේකට ඉඩ නොතියන බවත් ප්‍රකාශ කොට තිබේ.

මේ වතාවෙ යම් අයෙක් ආණ්ඩුව තුළ සිටිමින් එවැන්නකට සූදානම් වුවහොත් එය ක්‍රියාත්මක වන තෙක් බලා නොසිට තරාතිරම නොබලාම අදාල තැනැත්තා ආණ්ඩුවෙන්ම එළවා දමන බවට සහතිකයක් බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුපෙල මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් ප්‍රතිචාරද මධ්‍යයේය.

කලින් ආණ්ඩුවේ කළ මෝඩකම් මේ පාර කරන්නේ නැති බවද පෙන්වා දී තිබෙන බැසිල් රාජපක්ෂ මහතා පිරිසක් ආණ්ඩුවෙන් ගියොත් ඊට සරිලන පිරිසක් 20වැනි සංශෝධනයේදී මෙන් පිටින් ගැනීමට පසුබට නොවන බවද පසුපෙළ මන්ත්‍රීන් හමුවේ සහතික වී තිබේ.

මෙම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ ගොඩනඟා ජනපතිවරයෙක් හා ආණ්ඩුවක් බිහි කරවීමට කළ කැපවීම පිළිබඳවද පසුපෙළ මන්ත්‍රීන් කෘතවේදීව කතා කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.



Rate this item
(5 votes)
Last modified on Tuesday, 16 March 2021 14:08