April 26, 2024

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්‍ෂා කරගන්න භේද අතැර සැවොම එක්විය යුතුයි

November 18, 2020

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා සියලූ පාර්ශ්ව දේශපාලන භේද පසෙකලා එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සියලූ පාර්ශ්වවල ඇති අත්දැකීම් යොදා ගනිමින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම අභියෝගයට මුහුණ දිය යුතු බවයි.

විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ වාද්දුව දම්පියගම, ශ‍්‍රී සමුද්‍රාරාම විහාරස්ථානයේ කඨින පූජෝත්සවයට සමගාමීව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය මාර්තු මාසයේ මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුාවේදී මතුකළ කරුණු බැහැර කරමින් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලවලට අද අප මුහුණ දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මොහොතේදී සිදුකළ යුතුව ඇත්තේ දේශපාලන පක්ෂ, පාට භේද පසෙකලා සියලූ දෙනා එකමුතුව කටයුතු කරමින් රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා කැපවීම බව ද ඔහු අවධාරණය කළේය.

එම කටයුත්තේ දී මහා සංඝරත්නය විසින් ලබාදෙන ආධ්‍යාත්මික නායකත්වය ඉතා වැදගත් වනු ඇති බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

කළුතර දිසාවේ ප‍්‍රධාන සංඝනායක, වාද්දුව සමුද්‍රාරාම විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ ආශිර්වාදයෙන් සංවිධානය කෙරුණු මෙම පුණ්‍යකර්මයට කළුතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූවේ ගුණානන්ද මහනාහිමියන් ප‍්‍රමුඛ මහාසංඝරත්නය මෙන්ම හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න, උපුල් මාලේවන ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක් වුහ.

Rate this item
(0 votes)

Related items