April 27, 2024

ඊයේ ස්වාධීන වූ මන්ත්‍රීවරු තිදෙනා ස්වාධීන වූනේ ආණ්ඩුවෙන්ද ? විපක්ෂයෙන්ද ?

ඊයේ (20) ආණ්ඩුවට සහාය දෙන තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ස්වාධීන වුණා.

අන් ස්වාධීන වූ මන්ත්‍රීවරු මෙන් නොව මෙම මන්ත්‍රීවරුන් තිදෙනාගේ විශේෂත්වයක් තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරු

ඒ ඔවුන් තිදෙනා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් නිසා.

රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මේ තිදෙනා එසේ පාර්ලිමේන්තුවට තේරී පත් වී මාස 2 ක් ගතවීමටත් මත්තෙන් ආණ්ඩුවට එකතු වුණා.

ඒ 2020 ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමින්.

ආන්ඩුවට සහාය දීම

දැන් යළිත් ස්වාධීන වී සිටින්නේ එසේ ආණ්ඩුවට මාස 18 ක් සහය දුන් මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කළ එම්.එස්. තවුෆික් , ෆයිසාල් කාසිම් සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ ඉෂාක් රහුමාන් යන මහත්වරුන්.

ඔවුන්ට යළිත් සමගි ජන බලවේගය සමග එකතු වීමට හැකියාවක් නැහැ.

ඒ ඔවුන් තිදෙනාව ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා ඇති නිසා.

මන්ත්‍රීවරු හතකගේ සහය

ඒ අනුව ඔවුන් තිදෙනා ස්වාධීන වූයේ ආණ්ඩුවෙන්ද එසේත් නැතිනම් සමගි ජන බලවේගයද යන්න ගැටලුවක්.

ඔවුන් තිදෙනා ඇතුළු මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 7 දෙනෙකුගේ සහය 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 කින් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය දුන්නා.

ඒ අනුව සමගි ජන බලවේගයේ ඉතුරු වූනේ එම පක්ෂ දෙකේ නායක දෙපළ වන රවුෆ් හකීම් රිෂාඩ් බදුදීන් යන මහතුන් පමණයි.

එසේ සහය දීමට ගිය මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අහමඩ් නසීර් මහතා ඉකුත් 18 වැනි දින පත් කළ නව කැබිනට් මණ්ඩලයේ පරිසර ඇමැතිවරයා ලෙසද දිවුරුම් දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 April 2022 09:39