May 04, 2024

ඇමති ජී.එල් පරිත්‍යාගශීලී රටවල් එක්ක සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පරිත්‍යාශීලි රාජ්‍යයන් දැනුවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දි රටේ පවතින තත්ත්වයන් පිළිබඳ එම රාජ්‍යයන් වෙත කරුණු පැහැදිලි කළ බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරනවා.

අතරමැදි කාලසීමාව තුළ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස අමාත්‍යවරු මෙහිදී පරිත්‍යාගශීලී ජාතීන් වෙත ඇරයුම් කළා.

එම සාකඡාව සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් සහභාගි වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ මූලික කටයුතු පිළිබඳව මෙහිදි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කර ඇති අතර එම අතරමැදි කාලසීමාව තුළ රටේ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස ද එම රටවලින් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

ආර්ථික අර්බුදයේ මුල් අදියරේදී, ඊට විසඳුම් සොයා අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැරුවේ ප්‍රතිගාමී අදහසකි.

ආර්ථික අර්බුදය දේශීය යාන්ත්‍රණයක් හරහා විසඳා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වුණා.

නමුත් විපක්ෂයේ මහජන නියෝජිතයන් දිගින් දිගටම ආණ්ඩුවට යෝජනා කළේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 April 2022 13:38