May 01, 2024

අවසන් තීන්දුව ගනී! මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත්හිට වූ බව මුදල් අමාත්‍යංශය ඊයේ (12) නිවේදනය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබෙන තෙක් ශ්‍රී ලංකාව ණය පියවීම තාවකාලිකව අත් හිටුවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට ණය ලබා දුන්  සියලුම රටවල් සහ සමාගම් සමග එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කරන බව එම නිවේදනයේ සඳහන්.

මේ දක්වා ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් මෙය බලාත්මක වන අතර අලුත් ණය ලබා ගැනීම් සඳහා මෙය බලාත්මක නොවන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ණය මුදල් ගෙවන ආකාරය නැවත ප්‍රතිව්‍යුහගත කරන තෙක් ණය ලබාදුන් සියලුම රටවල් සහ සමාගම්වලට ණය පියවීම අත්හිටුවා ඇති කාල සීමාව සඳහා එම රටවල් සහ සමාගම් ශ්‍රී ලංකාව සමග එළඹි ගිවිසුම් ප්‍රකාරව පොලිය අය කර ගැනීමට හැකියාව තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සමාගමක් හෝ රාජ්‍යයක් ණය අත් හිටවූ කාල සීමාව තුළ ගෙවීමට ඇති හිග මුදල් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා ගැනීමට කැමැත්ත තිබේ නම් ඒ සඳහා අවකාශ තිබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

විදෙස් මාධ්‍ය මෙම නිවේදනයට පුළුල් ආවරණයක් ලබා දී තිබූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත්හිටවා ඇති බවත් මෙය ශ්‍රී ලංකාව සතු අවසන් විසඳුම බවත් වාර්තා කළා.

Rate this item
(3 votes)