May 19, 2024

දඹුල්ලේ එළවළු ගොඩ ගැසෙයි - විකුණගන්න විදියක් නැහැ

අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කල එළවළු අස්වැන්න දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවි මහතුන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවාද ඒවා අලෙවි කර ගැනීමට වෙළන්දුන් නොපැමිණීම නිසා අද (08) ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අද උදෑසන 4ට පමණ වන විට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ඇති අතර අලුයම් කාලයේ වෙනදාට වඩා වැඩි එළවළු ප්‍රමාණයක් ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් ඇති බව එහි වෙළෙඳ පෙන්වා දෙනවා.

ඒ 9 ප්‍රධාන මාර්ගයේ ගොවින් වාහන පෝලිමේ එළවළු තබාගෙන සිටින අයුරු දැක ගැනීමට හැකි වූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි නිසාවෙන්.

එම එළවළු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත් වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලවි නොවන තත්ත්වයක් පවතින බව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් පැවසූවා.

ඉන්ධන හිග වීම නිසා පිට පලාත්වල වෙළෙන්දන්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ වෙලේ හේනේ ගොවිපළේ තබා ගැනීමට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙනවා.

ඉහළ මිල ගණන් යටතේ අලෙවි වුණු බොහෝ එළවළු වර්ග සඳහා ගොවීන් මිල තීන්දු කළ ද ඒවා මිලදී ගන්නට කෙනෙකු නැති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

රැගෙන ආ එළවළු අස්වැන්න වෙළඳසැල් ඉදිරිපිට ලොරි රථ මතම තබාගෙන ගොවීන් වෙළෙන්දන් එනතුරු මග බලා සිටින අතර එළවළු බොහොමයක මිල ඉතා අඩු වී වියදම හෝ පියවා ගැනීමට නොහැකි වී ඇති බව ගොවින් පවසනවා.

ඇතැම් ගොවින් දින දෙක තුනක කාලයක සිට අස්වැන්න තබාගෙන වෙලදපොලේ රැදී සිටින බවද දිනෙන් දින එළවළු මිල අඩුවී වාහන වලට කුලී ගෙවීමට සිදුව තිබෙන බව පවසයි.

Rate this item
(0 votes)