May 04, 2024

අද මැතිසබේ ආණ්ඩුවට තීරණාත්මකයි! පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් සූදානමින්

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගෙන නැතැයි වාර්තා වනවා.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ පස්වරු 2ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.

එහිදී පවතින අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා පක්ෂ නායකයින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබුණා.

යෝජනා දෙකක්

මෙම ගැටලුව විසදා ගැනීම සඳහා යෝජනා දෙකක් පවතින බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සිදුකළ යුතු බව එම යෝජනා අතර වෙයි.

කෙසේවෙතත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවද කථානායකවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

එක් යෝජනාවකට අකමැත්ත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යෝජනාවක්ද ඉදිරිපත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේ සිදු කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් ඒ සඳහා මන්ත්‍රීවරයෙකු ගෙනඑන යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට හැකි බවට අදහස් පළවී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයකට යාමට ඇතැම් පක්ෂ නියෝජිතයින් එහිදී සිය අකමැත්ත පළ කර තිබුණා.

තීරණයක් නෑ

ඒ අනුව අවසන් එකඟතාවක් නොමැතිව පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබෙනවා.

මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අද (06) සහ හෙට (07) තවදුරටත් විවාද කිරීමට තීරණය කර තිබෙනවා.

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අදත් හෙටත් විවාද කර අවසන් තීරණයකට පැමිණීමට එහිදී තීරණය කෙරුණු බවයි වාර්තා වන්නේ. 

අදත් තීරණාත්මකයි

කෙසේ වෙතත් ආණ්ඩුවට සහය දක්වන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේද ස්වාධීන වීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස බවටයි වාර්තා වන්නේ. 

ඊයේ දිනයේද ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ස්වාධීන වුණා.

ආණ්ඩුවේ සරල බහුතරය?

ඒ අතරට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු 15දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 09 දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු සහ ආණ්ඩුවට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ අකිල ඉලංගෛ මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු අයත්.

ඒ අනුව ස්වාධීනවී ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 42 ක්. ඊයේ දිනයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබූ තුනෙන් දෙකක බහුතර බලය අහිමි වුණා.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට හිමිව තිබූ සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 159ක්.

මේ වන විට ආණ්ඩුවට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක්. පාර්ලිමේන්තුවේ සරල බහුතරය මන්ත්‍රී ආසන 113 යි.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ සරල බහුතරය රැදී ඇත්තේ මන්ත්‍රී ආසන 05 ක් මතයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2022 13:40