May 06, 2024

අද පාර්ලිමේන්තුවේ පෙරළියක්! ආණ්ඩුවේ බහුතර බලය ගිලිහෙන ලකුණු

පාර්ලිමේන්තුව තුළ අද (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිත බව වාර්තා වනවා.

හවුල්කාර පක්ෂ 10යේ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් වෙනම අසුන් ගැනීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුද ස්වාධීන වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු අද දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වනවා.

ලබන 06 වනදා ද තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ.

ඉකුත් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 157 දෙනෙකු සහය පළ කළා.

වාර්තා පළවන ආකාරයට ඒ අතරින් මන්ත්‍රීවරුන් 67 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වනු ඇති බවටයි සඳහන් වන්නේ.

මෙම මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව 95 ක් දක්වා පහළ යනු ඇති. 

ඒ අනුව, ආණ්ඩුවට පැවති තුනෙන් දෙකේ බලය අහෝසි වනු ඇත.

කුමන හෝ පාර්ෂවයක් පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතර බලය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බවට ජනාධිපතිවරයා පවසා ඇති බවයි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ .

මේ අතර ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නොව බහුතර බලය ද නැති කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 05 April 2022 10:33