May 13, 2024

චමල්ගේ තිස්සමහාරාම නිවසත් වටලයි! තවත් ඇමතිවරු රැසකගේ නිවාස වටලයි

මේවන විට විරෝධතාවයේ නිරත පිරිස් විසින් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම නිවාස ද වටලා උද්ඝෝෂණයේ නිරත වනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ මාතර පිහිටි නිවස ද විරෝධතාකරුවන් විසින් වටලා තිබෙන බවයි වාර්තාවන්නේ.

මේ අතර විරෝධතාවයේ නිරත ජනතාව විසින් තිස්සමහාරාම පිහිටි චමල් රාජපක්ෂගේ නිවස ද අද (04) දහවල් වටලා තිබෙනවා.

විරෝධතාවයේ නිරත පිරිස් තිස්සමහාරාම දෙබරවැව මංසන්ධියේ සිට විරෝධතා පා ගමනින් පැමිණ තිබෙනවා. 

විරෝධතාවයේ නිරත පිරිස් චමල් රාජපක්ෂ මහතාගේ තිස්සමහාරාමයේ පිහිටි නිවස දෙසට පැමිණීමත් සමඟ එහි දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවිමට ආරක්ෂක අංශ කටයුතු තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව චමල් රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළු වන මාර්ගය හරස් කර කිසිවෙකුටත් ඇතුළු විමට නොහැකි වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා තිබුණා.

විශාල ජනතාවක් වැස්සේ තෙමි තෙමී නිවස ඉදිරිපිටට වී විරෝධතාවයේ නිරත වී තිබුණා.

අපේ ගමන පොලිස් බැරියර් දමා වැළැක්විය නොහැකි බවත් හැමදාමත් රාජපක්ෂවරු ඇතුළු මේ රට කාබාසනියා කළ දේශපාලුවන්ට සැඟ වී සිටිය නො හැකි බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා.

මේ අතර හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ද අද (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වුණා. 

ආණ්ඩුවට හා හිටපු ඇමතිවරයාට විරෝධය පලකරමින් රැස්ව සිටි විරෝධතාකරුවන් ‘ජනාධිපතිවරයා වහා  ගෙදර යනු‘ ආදි සටන් පාඨ ද කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරත වුණා.

මෙම විරෝධතාවය නිසා ගාල්ල - කිතුලම්පිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා. 

හිටපු ඇමතිවරයාගේ නිවසේ ගෙට්ටු වසා දමා තිබු අතර පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා.

විරෝධතාකරුවන් හිටපු ඇමතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධය දැක්විම සදහා පැමිණිමින් සිටින අතරතුර රාජ්‍ය ඇමති මොහාන් පි ද සිල්වා මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයේ නිරතවී තිබුණා.

ඇමති කාංචන විජේසේකරගේ නිවසත් වටයි!

රමේෂ් පතිරණගේ නිවසත් වටලයි!

Rate this item
(2 votes)
Last modified on Monday, 04 April 2022 17:45