May 05, 2024

ආයුර්වේද වෛද්‍ය සභාවට කෝටි 2ක් අහිමි වෙයි! වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට දීලත් නෑ

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නව සිය අසූ හය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

එම සභාවේ ලියාපදිංචි සියලුම වෛද්‍යවරුන් වර්ෂ පහකට වරක් ලියාපදිංචිය යාවත්කාලීන කළයුතු වුවත්, ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැතැයිද එම කාර්යාලය සඳහන් කරනවා.

මේ අතර සුදුසුකම් ලද අයදුම්කරුවන් සංඛ්‍යාව 295ක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

නමුත් 2016-2020 අතර කාලයේදි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 367 දෙනකු වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර තිබූ බව විගණන අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ වෘත්තීය විසමාචාර සම්බන්ධයෙන් සහ ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි තැනැත්තන් සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සභාවට පැමිණිලි 220කින් පැමිණිලි 124ක විමර්ශන පසුගිය වසරේ මාර්තු 15 වැනිදා වනවිටත් අවසන් කර නොතිබූ බව විගණන කාර්යාලය සඳහන් කළා.

පසුගිය 2020 වසරේ දී ලැබී තිබූ පැමිණිලි 28කින් වැඩිදුර පරීක්ෂාව සඳහා පොලිසියට යොමු කර තිබුණු පැමිණිලි එකොළහක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පසු විපරම් කර නොතිබූ බවද එම කාර්යාලය පෙන්වා දෙනවා. 

ක්‍රියාකාරී සැළැස්මේ ඇතුලත්ව තිබුණු ක්‍රියාකාරකම් තුනක් 2020 වසරේදී ආරම්භ කිරීමට නොහැකිවී තිබුණු අතර තවත් ක්‍රියාකාරකම් තුනක භෞතික ප්‍රගතිය සියයට 50කට වඩා අඩු වූ බව විගණන අංශ කියා සිටියා.

ව්‍යාජ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් ආයුර්වේද වෛද්‍ය සභාව වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට යොමු කර නැතැයිද විගණන කාර්යාලයට තොරතුරු හෙළි වී ඇත.

මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාව 2018 සහ 2019 වර්ෂවලට අදාල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 09:19