May 03, 2024

ආණ්ඩුවේ ලොක්කන් දෙදෙනෙකු සුපිරි වාහන 2ක් ගෙන්වලා! කූඨ ලේඛන සකසූ බවට CIDයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලොක්කන් දෙදෙනෙකු 2011දී කූඨ ලේඛන සකසා වංචාසහගත ලෙස තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාගෙන වාහන 2ක් ආනයනය කර ඇති බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අද(22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ අධ්‍යක්ෂ අධීක්ෂණ තනතුරේ සිටින නිලධාරිනිය 2011 වර්ෂයේදී කූඨ ලේඛන සකසා, වංචාසහගත ලෙස තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාගෙන වාහන 2ක් (පිළිවෙළින් KIA Sportage සහ KIA Sorento මාදිලි) ආනයනය කර තිබෙන බවයි.

වංචනික ලෙස තම සේවා කාල සහ තනතුරු සඳහන් කොට, නීත්‍යානුකූලව හිමි නොවන සහනයක් ලබාගැනීම සඳහා වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව චේතනාන්විතව නොමඟ යවා මෙම නිලධාරිනියන් දෙදෙනා විසින් තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාගෙන ඇති බවයි එම සංවිධානයේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

2010/12/10 දිනැති අංක 01/2010 දරන හා 2010/12/24 දිනැති අංක 01(1)/2010 දරන වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛවල පිළිවෙලින් 1(g) සහ 02 වගන්ති අනුව වෙනත් නියාමන ආයතනයක "ජ්‍යෙෂ්ඨ මට්ටමේ" විධායක නිලයක අවුරුදු 12ක ක්‍රියාකාරී සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. නමුත්, වසර 2011වනවිට මේ නිලධාරිනියන් දෙදෙනා  එකී සේවා කාලය සම්පූර්ණ කර නොතිබූ බව එම පැමිණ්ලලේ සඳහන්.

2011 වසරේදී තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍රය සඳහා අයැදුම් පත්‍රය යොමු කරනවිට දමයන්ති ශ්‍යාමලී ප්‍රනාන්දු නමැති නිලධාරිනිය අවුරුදු 05 මාස 04 දින 08ක්ද, එන්. පී. ඩී. චමරී තරංගා නිමාලිකා ඒකනායක නමැති නිලධාරිනිය අවුරුදු 04 මාස 11 දින 09ක්ද වශයෙන් පමණක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක නිලයක සේවා කාලය සම්පූර්ණ කර ඇති බව සංජය මහවත්ත මහතා පවසනවා.

නමුත්, ඉහත කී චක්‍රලේඛවල සඳහන් අවුරුදු 12ක සේවා කාලය සම්පූර්ණ කර පෙන්වීම සඳහා ඔවුන් විසින් කලින් දැරූ කණිශ්ඨ තනතුරු (විධායක නිලයක් නොවන) ඇතුළත් කර කූඨ ලෙස අ‍යදුම්පත්‍රය සකසා ඇතැයි ඔහු කියා සිටියා. 

කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛවලට අනුව "ජ්‍යෙෂ්ඨ මට්ටමේ" විධායක තනතුරු ලෙස සැලකෙන්නේ MM, AR සහ HM වැටුප් කාණ්ඩවලට අයත්වන රජයේ නිලධාරීන්ය. නමුත් මෙම නිලධාරිනියන් දෙදෙනා කලින් දැරූ කණිශ්ඨ තනතුරු දෙක  (විධායක සහ ජ්‍යෙෂ්ඨ විධායක යන තනතුරු) කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛවලට අනුව "ජ්‍යෙෂ්ඨ මට්ටමේ" තනතුරු ලෙස සැලකෙන්නේ නැත.

තවද, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ පරිපාලන අත්පොතෙහි පිටු අංක 30හි සඳහන් අභ්‍යන්තර උසස්වීම් ලබාදීමේ පටිපාටියට අනුවද මෙකී තනතුරු දෙක සැලකෙන්නේ කණිෂ්ඨ තනතුරු ලෙසයි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වැටුප් පරිමාණයන් කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශිත වැටුප් පරිමාණවලට අනුව අනුමත කරවාගෙන නොමැති බැවින් මෙලෙස කණිෂ්ඨ තනතුරු වංචනිකව ජ්‍යෙෂ්ඨ තනතුරු සේ පෙන්වා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම නිලධාරිනියන් දෙදෙනාගේ ඉහත කී වංචා සහගත ක්‍රියාව මගින් චේතනාන්විතව රජයේ බදු මුදල් වංචා කර තිබෙන අතර ඒ හේතුවෙන් රජයට අය වීය යුතු බදු මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී ගොස් තිබෙන බව සංජය මහවත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2022 19:35