May 06, 2024

කරත්තවලටත් බදු ගහයි! බද්ද 3000යි (PHOTOS) Featured

සීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්රයේ නියෝජිතයන් ඒෂියන් මිරර් වෙත පැවසුවා. 

දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම බදු මුදල් අය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කර තිබෙන බවයි ඔවුන් චෝදනා කරන්නේ. 

මේ දිනවල දඹුල්ල ප්‍රාදේශීය සභාව මඟින් කරත්ත සෆාරි පත්වාගෙන යන ආයතනවලට දැනුම් දී ඇත්තේ එක් කරත්තයක් සඳහා රුපියල් 3000ක බදු මුදලක් අය කරන්නට යන බවයි.

කරත්ත පාරට දැම්ම විතරයි

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ සීගිරියේ ප්‍රධාන මාර්ගයේ සවික කොට ඇති දැන්වීම් පුවරු වලට ඉහල තක්සේරුවක් කරගෙන යන බවද ඔවුන් පෙන්වා දෙනවා.

වසර දෙක හමාරකට අධික කාලයක් කිසිදු ආදායමක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි කරත්ත හා ඔරු, අලි සෆාරිකරුවන් සිටින්නේ විදේශීය සංචාරකයන් කිහිපදෙනෙකු මෙරටට පැමිණීමත් සමඟ විනාශ වී ගිය කරත්ත අලුත්වැඩියා කොට මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

කිසිදු දවසක අය නොකරන ලද බදු මුදලක් අය කිරීම රජය ගෙන ඇති තීරණය නිසා නැවත වරක් සංචාරක කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව කරත්ත සහ ඔරු සෆාරි හිමියන් චෝදනා කරනවා.

නිලධාරීන්ගේ අමුතු වැඩක්

සීගිරිය නැරඹීමට සඳහා එන විදේශීය සංචාරකයන් දින කිහිපයක් සීගිරියේ නවත්වා ගෙනගෙන ඔවුන් ගෙන එන මුදල් මෙරටට වියදම් කරවීම ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ප්‍රදේශයේ ජනතාව විසින් ම ඔරු  සෆාරි, කරත්ත සෆාරි, ජීප් සෆාරි, මෙන්ම අලි සෆාරි ආදී විවිධ ව්‍යාපෘති ආරම්භ කළ බව ඔවුන් සඳහන් කළා. 

රජය හෝ ප්‍රාදේශීය සභාව හෝ කිසිදු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන මෙවැනි ව්‍යාපෘති හඳුන්වා නොදුන් බවද පවසන ඔවුන් කියා සිටින්නේ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා මේ මොහොතේ රජයේ නිලධාරීන් ගන්නා ක්‍රියා මාර්ගය දැඩි ලෙස හෙළා දකින බව යි.

සංචාරකයන්ගෙන් කරත්ත සෆාරියක් සඳහා තම ආයතනයට හිමිවන්නේ එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 1000ක මුදලක් බවත් අනෙක් සියලු මුදල් සංචාරකයන් රැගෙන එන රියදුරන්ට සහ මග පෙන්වන්නන්ට ලබාදෙන බවයි ඔවුන් කියා සිටියේ.

කරත්ත සෆාරි හිමියන් කියා සිටියේ කරත්ත එකකට රුපියල් 3000ක මුදලක් අය කිරීම් සිදුකළ හොත් මෙම ආයතන පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

බද්ද දෙන්න කැමැත්තෙන්

මීට පෙර සීගිරියේ සංචාරක ව්‍යාපෘති ඕනෑතරම් පැවතියද මේ ආකාරයෙන් කරත්ත බද්දක් රජය අය නොකළ බවද දඹුල්ල ප්‍රාදේශීය සභාව මේ වන විට කරත්ත බද්දක් අය කිරීම බලවත් අසාධාරණ බව ද ඔවුන් චෝදනා කරනවා.

යම් මට්ටමකින් අදායමක් ලබන අවස්ථාවක එවැනි බද්දක් අය කරන්නේ නම් එය ලබාදීමට කැමැත්ත පළ කරන බවද ඔවුන් පවසනවා.

 එමෙන්ම    සංචාරකයන් පැමිණි සීගිරි නගරයේ සංචාරකයෙකුට අඩුම තරමේ  ටොපියක , චොකලට් කොළයක් ඉවත්   කිරීම සඳහා  කසල බඳුනක් තබා ගැනීම්ට  නොහැකි   ප්‍රාදේශීය සභාව මෙයාකාරයෙන් බදු අය කිරීම අසාධාරණ බව ද ඔවුහු පෙන්වා දෙති.

ඒෂියන් මිරර් වාර්තාකරු සීගිරියට ගිය අවස්ථාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ කණ්ඩායමක් ඊයේ (15) ප්‍රධාන මාර්ගය දෙපස සංචාරක ව්‍යාපාරිකයන් සවිකොට ඇති දැන්වීම් පුවරු සහ ඔවුන් සවිකොට ඇති පුවරු වල තක්සේරු කිරීම් කටයුතු සිදු කරන අයුරු දැකගැනීම ගැනීමට හැකි වුණා.

බදු මුදල කියන්න බෑ

එම නිලධාරීන්ගෙන් විමසීමේදී කියා සිටියේ යම් කිසි මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව ද කෙසේ වෙතත් අයකරන මුදල කොපමණද යන්න ඔවුන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්ය.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .ජී .සෝමතිලක මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසීමේදී කියා සිටියේ ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු ග්‍රාමීය මාර්ග කරත්ත සෆාරි පවත්වාගෙන යන පුද්ගලයන් විසින් පාවිච්චි කිරීමේ දී මාර්ග වලට සිදුවන හානිය නිසා ඒවා නඩත්තු මුදලක් ලෙස කරත්ත වලින් එක් කරත්තයකින් වසරකට රුපියල් 3000ක මුදලක් අය කිරීමට තීරණය කළ බව යි.

ව්‍යාපාර වලට රජය විසින් පනවා ඇති අනෙකෙත් බදු අයකිරීම් කටයුතු නතර කර තිබුණු බවද එහෙත් ජනවාරි මාසයේ සිට නැවත එම බදු මුදල් අයකරගැනීමට සභාව තීරණය කර ඇති බවද ඒ මහතා සඳහන් කළා.

ආදායම් මධ්‍යම සංස්කෘතික අරමුදලට

කෙසේ වෙතත් සීගිරිය නැරඹීම සඳහා එක් විදේශිකයකුගෙන් රුපියල් 7000ක පමණ මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල ලබා ගත්තද ඉන් කිසිදු මුදලක් ප්‍රදේශයේ සංවර්ධනයට හෝ ප්‍රාදේශීය සභාවකට පිරිසිදු කිරීම් කටයුත්තකට නොලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළා.

සිගිරිය දඹුල්ල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටියද සියළු ආදායම් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් රැගෙන යන බවත් ආදායමෙන් 1% ක මුදලක්  ප්‍රාදේශීය සභාවට ඉල්ලා සිටියද එය ලබානොදී සීගිරියෙන් ලැබෙන සියලු ආදායම් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රැගෙන යන බවද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙන්ම එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරු දැඩිව කියා සිටියා.

Rate this item
(1 Vote)