May 05, 2024

පාසල් සිසුන් පිරිසක් මත්පැන් පාටියක් දාලා - එක් සිසුවෙකුට දිවිත් අහිමි වෙයි

බදුලු ඔයේ දිය නෑමට ගිය පාසැල් සිසුවෙක් බදුලු ඔයේ කුරුදුවතාව නම් ප්‍රදේශයේදී අද (12) දහවල් දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි බදුල්ල පොලීසිය පවසනවා.

පාසැල් සිසුන් හය දෙනෙකු මැදිරිය ජල සම්පාදන කාර්යාලයට යාබදව ඇති බදුලු ඔයේ කුරුදුවතාව නම් ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් සිසුවෙක් මෙසේ දියේ ගිලී තිබෙනවා.

ඔහු ඔය දිගේ පහලට පීනමින් ඉදිරියට ගොස් ඇති අතර ඔහු එක්වරම දියේ ගිලුණු බව සිද්ධිය දුටු අනෙක් සිසුන් පවසනවා.

පසුව ඉවුර දිගේ යමින් මිතුරාව සෙවුවද එක්වරම ඔහුව සොයා ගැනීමට නොහැකි වූ බවත් පසුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මිතුරාව සොයාගත් බව සිසුන් පවසනවා.

ඒ වන විටත් බදුල්ල පොලීසිය හා මහ නගර සභාවේ ගිනි නිවීම් හා දිවි බේරා ගැනීමේ ඒකකයද ස්ථානයට පැමිණ සිසුවාව ඔයෙන් ගොඩ ගැනීමට කටයුතු කෙරුණද ඒ වන විටත් සිසුවා මියගොස් තිබෙනවා.

ජලයේ ගිලී මියගිය සිසුවා මත්පැන් පානය කර ඇති බවට ස්ථානීය පරීක්ෂණයේ යෙදුණු බදුල්ල පොලීසියේ නිළධාරීන් තහවුරු කරගත් බව පොලීසිය සදහන් කරනවා.

මියගිය සිසුවා බදුල්ල පස්සර පාරේ 3කණුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි කේ. නිලක්ෂන් වන අතර, ඔහු බදුල්ල භාරතී දෙමළ විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන බවට තහවුරුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Rate this item
(0 votes)