May 15, 2024

ඇඹිලිපිටිය බන්ධනාගාරයේ මියගිය සිරකරුගේ මරණයට හේතුව හෙළිවෙයි

පසුගියදා ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිරකදවුර භාරයේ සිටියදී මියගිය රැදවියාගේ මරණය පහරදීමෙන් ලද තුවාල හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයකින් ඇතිවූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණයක් බව මරණ පරික්ෂණ වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නියෝග ලබා දෙමින් ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය විසින් පවසා ඇත්තේ බන්ධනාගාර භාරයේ සිටියදී අපරාධය සිදුවීම හේතුවෙන් වගකිව යුතු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාර්තු 15 දා ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කදවුරේ භාරයේ සිටියදී මියගිය මෙම රැදවියා දිවා කාලයේ නිවසක් බිද දේපල සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වසර 4යි මාස හතරක සිරදඩුවමක් නියම වී තිබුණා.

ඒ අනුව ලලිත් චමින්ද හෙට්ටිගේ රැදවියා  ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කදවුරේ සිට තිබෙනවා.

ඔහු මාතර කූඩගොඩ කණංකේ කඩ වීදිය, කන්දවත්තේ පදිංචි අයෙක්.

ජනවාරි මස 03 වනදා පෙරවරු 11.45ට පමණ එළිමහන් සිර කදවුරෙන් මෙම රැදවියා පැනගොස් ඇති  බවත් 14 වන දින පෙරවරු 6.20 ට පමණ ඇඹිලිපිටිය කණමැදිආර ප්‍රදේශයේදී සිටියදී නැවත අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බවද වාර්තා වෙනවා.

අනතුරුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගෙන යන අතරතුර පපුවේ අමාරුවක් සෑදී ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රැදවියා දහවල් 12.55ට පමණ මියගොස් තිබෙනවා.

මියගිය රැදවියාගේ දේහය කරාපිටිය රෝහට ගෙන ගොස් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළදාරී යූ.ජී.ජයරත්න මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුව මිය යෑමට හේතුව පහරදීමෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයකින් පසුව ඇති වූ කම්පනය හේතුවෙන් බව නිගමනය කර තිබෙනවා.

Rate this item
(0 votes)