May 17, 2024

ආණ්ඩුව ගත් තීරණයෙන් කාන්තාවන් අනාරක්ෂිතයි - රටේ තත්වය වෙනතකට Featured

විදුලිය පිරිමැසීමට වීථී ලාම්පු නිවා දැමීම කාන්තාවන්ගේ ආරක්ෂාව ඇතුළු තවත් සමාජ ගැටලු රැසකට මුල් විය හැකි බව විද්වතුන් රැසක් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කාන්තා හා ළමා අපයෝජන සංඛ්‍යා දත්ත සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත්, වීථී ලාම්පු නිවා දැමීමෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හැරී යන බවත් විද්වතුන් පෙන්වා දෙනවා.

දිවා කාලයේදී, විදුලි පවතිද්දීත් කාන්තාවන් නොයෙක් ලිංගික හිංසනයන්ට ලක්වන රටක රාත්‍රියේ වීථී පහන් නිවා දැමීම විශාල ගැටලුවක් විය හැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවා.

ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය කියා සිටියේ මේ තීරණය හේතුවෙන් සමාජයේ නොයෙක් ගැටලු මතුවිය හැකි බවත් කාන්තාවන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්විය හැකි බවත්ය.

කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය කලා පීරිස් කියා සිටියේ මෙය සංවේදීව බැලිය යුතු ගැටලුවක් බවත් මෙවැනි අර්බුදයකදී රජය ගන්නා තීරණ වලින් බලපෑමට ලක්වන පාර්ශව වෙනුවෙන් අවධානය යොමු කිරීම සමාජයේ වගකීමක් බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය මේ පිළිබඳ දරන මතය කුමක්දැයි එහි සභාපතිනිය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ සැබැවින්ම කාන්තාවන් කෙරෙහි ඉතා අනාරක්ෂිත අන්දමින් මෙය බලපාන බවයි.

රට මුහුණ පා ඇති තත්ත්වය අනුව බැලීමේදී වීථී පහන් නිවා දැමීම වරදක් ලෙස සැලකිය නොහැකි වුවත්, මේ ඔස්සේ කාන්තාවන් අනාරක්ෂිත බවට පත්වීම වැළැක්වීමට යම් වැඩපිළිවෙලක් ඇති විය යුතු බව ද බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2022 11:49