April 27, 2024

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ "පේන්ට් බාස්" ගේ මරණ දඬුවම තහවුරුයි

February 23, 2022

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ලකෑමේ චෝදනාවලට ‘පේන්ට් බාස්’ නමැත්තා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කිරීම අභියාචනාධිකරණය විසින්ද අනුමත කළා.

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කර ඇය සතු දේපළ මංකෙල්ලකෑමේ චෝදනාවලට විත්තිකරු වරදකරු කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය දෝෂ සහගත බවට ‘පේන්ට් බාස්’ නමැත්තාගේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා මහාධිකරණ මුල් නඩු ගොනුව පරීක්‍ෂා කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මුල් නඩු ගොනුවේ පැති සටහන් පරීක්‍ෂා කළ විනිසුරු මඬුල්ල මහාධිකරණ විනිසුරුවරයා නිසිලෙස කටයුතු කොට ඇති බව අභියාචනය විභාග කරන අවස්ථාවේදීම තීරණය කරමින් ඇපෑල නිශ්ප්‍රභ කළ අතර, ඔහුට එරෙහිව මහාධිකරණ නියෝගය ස්ථිර කළා.

මහාධිකරණ තීන්දුව ඉවත දමා තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අරුලානන්දු  රැන්සන් ජොර්ජ් හෙවත්  ‘පේන්ට් බාස්’  නමැත්තා ඉදිරිපත් කළ ඇපෑල විභාගයට ගත් අභියාචනාධිකරණ විනිසසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ ප්‍රභා කුමාරත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල එලෙස නියම කළා.

2014 පෙබරවාරී මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බත්තරමුල්ල සුභූතිපුරදී කොල්ලකෑමේ අදහසින් මෙලීෂීයා ගුණසේකර හෙවත් මෙල් ගුණසේකර මහත්මියගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, ඇගේ ‘බ්ලැක්බෙරි’ වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑම සහ ඒ අවස්ථාවේදී මෙලීෂීයා ගුණසේකර හෙවත් මෙල් ගුණසේකර මහත්මියට පිහියෙන් ඇන මරා දමන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

මෙම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා මෙල් ගුණසේකර මහත්මියගේ මරණය සම්බන්ධයෙන් විත්තිකරුට මරණ දඬුවම නියම කළ අතර, ඊට අමතරව කොල්ලකෑමේ අරමුණින් ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම හා මංකොල්ලකෑමේ චෝදනාවට ඔහුට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද, රුපියල් 30,000ක දඩයක්ද නියම කළා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 February 2022 17:36