May 09, 2024

උසස් පෙල විභාගයෙත් අවුලක්! ශාලාධිපති විභාග කටයුතු වලින් ඉවත් කරයි

February 10, 2022

අ.පො.ස. උසස් පෙළ විභාගයෙහි ඊයේ (09) පැවැති චිත්‍ර විෂයට අදාල ප්‍රශ්න පත්‍රය ලබා දීමේදී විභාග මධ්‍යස්ථාන දෙකක සිසුන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානවල අදාල සිදුවීම ඇතිව තිබෙනවා.

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ සිසුන් හය දෙනෙකුගේ උසස් පෙළ විභාගයේ චිත්‍ර ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

තක්ෂිලා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනකු ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර තිබෙනවා.

ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙහි පැවති එක් විභාග ශාලාවක සිසුන් දෙදෙනකු චිත්‍ර විෂයට පෙනී සිට ඇති අතර එම දෙදෙනාට දෙවන ප්‍රශ්න පත්‍රය නොදුන් බව එම සිසුන් දෙදෙනා ප්‍රකාශ කරනවා.

චිත්‍ර විෂයෙහි පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුර සපයා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ශාලාව බාරව සිටි ගුරුවරියකගෙන් විමසූ අවස්ථාවේ දෙවන ප්‍රශ්න පත්‍රය නොලැබුනු බව පවසා ඇතැයි එම සිසුන් සඳහන් කළා.

විභාගයට පෙනී සිටි සෙසු සිසුන්ගෙන් විභාගය අවසන්වීමෙන් පසු තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් පැවැසු අවස්ථාවේ ඔවුනට දෙවන ප්‍රශ්න පත්‍රය ලැබුණු බවට පැවැසූ බව ද එම බලධාරීන්ට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සිසුන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර පේමලාල් මහතා සඳහන් කළේ මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත අදාල ශාලාධිපති සහ සහකාර ශාලාධිපති විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 12:38