May 07, 2024

මෙරට ණය ශ්‍රේණිගත කිරීම් පහළ යාම ගැන ජාත්‍යන්තර ණය විශේෂඥයෙකු කී කතාව

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම ගැන අනවශ්‍ය පරිදි කලබල විය යුතු නැති බව ලෝකයේ ප්‍රමුඛතම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ විශේෂඥයෙකු වන මහාචාර්ය ලී සී. බුහයිට් මහතා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ගැන නොව ශ්‍රී ලංකාව මේ මොහොතේ ජය ගත යුතු අභියෝග ගැන අවධානය යොමු කළ යුටු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ නෙක්ස්ට් ජෙන් සංවිධානය සහ ෆ්‍රෙඩ්‍රික් නවුමාන් සංවිධානය එක්ව පැවැත්වූ ආර්ථික සමුළුවක දී ය.

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්ෂේත්‍රයේ වසර 43කටත් අධික අත්දැකීම් ඇති බුහයිට් මහතා ග්‍රීසියේ සහ ඉරාකයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වල දී ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ අයෙක්.

"උදාහරණයක් විදියට කිසියම් රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සඳහා යොමුවෙන කොට මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතන තවදුරටත් ඒ ශ්‍රේණිගත කිරීම් පහළ හෙලනවා. ඒත් එම ක්‍රියාවලිය සම්පූර්ණ කළාට පස්සේ නැවත ශ්‍රේණිගත කිරීම් ඉහළ යනවා. ඒ නිසා ඒ ගැන අනවශ්‍ය පරිදි කලබල විය යුතු නැහැ" යැයි ඔහු සඳහන් කළා.

මෙම ශ්‍රේණිගත කිරීම් විශාල ගැටලුවක් වන්නේ ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේ දී ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කරන්නේ නම් පමණක් බව කී බුහයිට් මහතා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා මෙය බාධකයන් නොවන බව ද සඳහන් කළා.

මේ මොහොතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බව කී බුහයිට් මහතා ජනතාව ද එහිදී යම් කැපකිරීමක් කළ යුතු බව ප්‍රකාශ කළා.

ජනතාව කිසිදු කැපකිරීමක් නොකර එම සියලු බර ජාත්‍යන්තර ණයකරුවන් වෙත පැටවීම ප්‍රායෝගික නොවන බව ද බුහයිට් මහතා පැවසුවා.

ජාත්‍යන්තර පාර්ශ්ව විසින් සිදු කළ යුතු කාර්යභාරය සහ ජනතාව විසින් සිදුකරන කැපකිරීම් අතර සමබරතාවක් ගොඩනගා ගැනීමට රජය ක්‍රියා කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම අනිවාර්ය නොවන බව කී බුහයිට් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් ආර්ථික ප්‍රතිසංස්කරණ  සිදු කළ බොහෝ රටවල් ඇති බව ද කියා සිටියා.

එසේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ආර්ථික ප්‍රතිසංස්කරණවල දී බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ද ඔහු පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)