May 18, 2024

වෛද්‍යවරයාට හදිසි මාරුවක්! මධ්‍යම බෙහෙත් ශාලාව වසා දමයි

හලාවත - කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාවට මාස 06ක පමණ කාලයක සිට වෛද්‍යවරයෙකු නොමැතිකම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

කොක්කාවිල අවට ගම්මාන රැසක පදිංචිකරුවන් 100ක් 150ක් පමණ දිනකට එම බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා තිබෙන අතර ගැබිණි, ළමා සහ ළදරු සායනයක් ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් මෙම මධ්‍යස්ථානයෙන් දිනපතා පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව වසර 80ක පමණ කාලයක සිට කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබෙන අතර මීට මාස 06කට පමණ පෙර එම බෙහෙත් ශාලාව තුළ සිදු වූ බව කියන කොවිඩ් එන්නත් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් විමර්ශණයක් ආරම්භ කොට තිබෙනවා.

ඒ වන විට මෙම මධ්‍යම බෙහෙත් ශාලාවේ සේවය කරමින් සිටි වෛද්‍යවරයාව වෙනත් රෝහලකට මාරු කර යැවීමටද ඉහළ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙන අතර එතැන් සිට වෛද්‍යවරයෙකු නොමැතිකම හේතුවෙන් කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාව පාළුවට යන්නට පටන් ගෙන තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය සඳහන් කලේ,

"කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාවේ සේවය කරමින් සිටි වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. ස්ථීරව වෛද්‍යවරයෙකු පත් කිරීමට අපට මේ වන විට හැකියාවක් නැහැ. නමුත් සතියකට දින 02ක් වෙනත් රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු තාවකාලිකව යොදා ගෙන සායන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යනවා. ලබන 18 වැනිදා වන විට නව වෛද්‍යවරුන් කණ්ඩායමක් පුත්තලම දිස්ත්‍රික්කයට ලබා දෙන බව දැන ගන්නට තිබෙනවා. එසේ වෛද්‍යවරුන් ලැබුණු විගස නැවත සාමාන්‍ය ආකාරයට කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාව ආරම්භ කළ හැකි බවටයි මා විශ්වාස කරන්නේ."

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 23:58