May 04, 2024

නව වසරට සූදානම (PHOTOS)

December 31, 2021

2022 වසර පිළිගැනීම සදහා ජනතාව පවතින ගෑස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප් , දර සහ භූමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙළඳපොලේ සංචාරය කල අපට දක්නට ලැබුණා.

වෙළඳපොලේ එළවළු මිලද තවදුරටත් ඉහළ ගොස් ඇති නිසා පාරිභෝගිකයන් තම නිවසට ඉතා සුළු ප්‍රමාණයක් පමණක් එලවළු මිල දී ගන්නා අතර , වෙනත් වසර වලට සාපෙක්ෂව ගිනිකෙළි අලෙවියේ විශාල අඩුවක් පවතින බව ව්‍යාපාරිකයන් පැවසුවා.

සමාගම විසින් ගෑස් තොග නිකුත් නොකල නිසා තම වෙලදසැල් වල ගෑස් අලෙවි කිරිමට නොමැති බව ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියා.

පවතින දැඩි ආර්ථික අපහසුතා මැද උදාවන 2022 වසර චාරිත්‍ර වලට පමණක් මුල්තැන දි පිලිගන්නා බවයි ජනතාව කියා සිටියේ.

මේ අතර නව වසර සැමරීමට  කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා  රජයේ සහ පෞද්ගලික ආයතන ලබාදී ඇති ඇණවුම් බාර ගැනීම හෝටල් සහ ආපනශාලා සහ කැවිලි පෙවිලි නිෂ්පාදනය කරන ආයතන බොහොමයක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් හිඟය නිසා හෝටල් ආපන ශාලා ඇතුළු ආයතනවලට අකමැත්තෙන් වුවද එම තීරණය ගැනීමට සිදුවී ඇති බවයි.

පවතින ආර්ථික තත්වය  සැලකිල්ලට ගෙන රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් කිරිබත්, කැවිලි පෙවිලි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙවර ඇණවුම් කර නැතැයිද හෙතෙම සඳහන් කළා.

රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් නව වසර සැමරීමට කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා කාලයක සිටම ඇණවුම් ලබා දුන්නේ ඒ ඒ  නගරවල හෝටල්වලට සහ ආපන ශාලාවලට බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර ගෑස් හිඟය නිසා මේ වනවිට වැසීගොස් ඇති හෝටල්, බේකරි සහ ආපන ශාලා සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  එම සංගමය සඳහන් කරනවා.

මෙයට අමතරව කඩල කරත්ත, බඩ ඉරිගු කරත්ත, සව් කරත්ත යනාදී ව්‍යාපාර දස දහසකට ආසන්න සංඛ්‍යාවක් ගෑස් හිඟය නිසා සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇතැයි වාර්තා වෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)