May 17, 2024

වියදම කෝටි 46යි - වැඩ අවසන් පාලමේ තත්වය අනතුරුදායකයි (PHOTOS)

December 21, 2021

මුහුද රළු වී වෙරළ ඛාදනය වීම හේතුවෙන් උඩප්පුව මෝය හරහා ඉදි කරන ලද නව පාලම අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරනවා.

රුපියල් කෝටි 46ක් වැය කරමින් ඉදි කර ඇති මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු පසුගිය රජයේ සමයේ ආරම්භ වුණා. මේ වන විට පාලමේ ඉදි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇතත් එය තවමත් විවෘත කර නැහැ.

වැසි කාලයේදී බත්තුළුඔය ජලයෙන් පිරී ගිය විට උඩප්පුව මෝය කපා දැමීම සාමන්‍යයෙන් සිදු වන දෙයක්. මෝය කපා දැමීම ප්‍රමාද වන විට පුලිච්චාකුලම, කීරියන්කල්ලිය වැනි ප්‍රදේශ වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී යනවා. උඩප්පුව මෝය කපා දැමූ විට සිදු වන්නේ ගම්මානය දෙකඩ වී ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටීමයි.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස උඩප්පුව මෝය හරහා පාළමක් ඉදිකිරීමට පසුගිය රජය කටයුතු කළා. ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ඒ සදහා රුපියල් කෝටි 46 ක් වෙන් කර තිබුණා.

මුහුද රළු වීම හේතුවෙන් හානියට පත් වෙමින් පවතින්නේ එම පාලමයි. පාලමේ ස්ථාන 03 ක් මේ වන විට දරුණු හානියට පත්ව ඇති ආකාරය දක්නට තිබෙනවා. පාලම ආසන්නයේ ඇති නිවාස 03 ක්ද, ධීවර වාඩි 04 ක්ද මේ වන විට මුහුදු ඛාදනයට හසුවීම නිසා විනාශයට පත්ව තිබෙනවා.

මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතින ස්ථාන ආරක්ෂා කර ගැනීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවකාලිවක කළු ගල් කීපයක් ගෙනවිත් දමා ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරනවා. නමුත් එය ප්‍රමාණවත් නොවන බවද ඔවුන් කියා සිටිනවා.

පවතින තත්ත්වය තවත් වැඩි වුවහොත් අලුත ඉදිකර ඇති පාලම අනතුරට පත් වීමට ඉඩ ඇති බවද උඩප්පුව ධීවරයින් පෙන්වා දෙනවා.

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 December 2021 12:06