April 28, 2024

ඉස්ලාම් අන්තවාදී ඝාතනය ගැන ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

December 04, 2021

ඊයේ (03) පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී අමානුෂික ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මේවන විට මෙරටත් ජාත්‍යන්තරයේත් මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව යි. 

එමෙන්ම තමන් මෙම සිදුවීමෙන් මහත් කම්පනයට ලක්වුණු බවත් ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ රජය මෙම සිද්ධිය සම්බන්ධව යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන බව යි.

ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද ශ්‍රී ලංකාව විශ්වාසයෙන් යුතුව බලා සිටින බව ද ජනාධිපතිවරයා පවසනවා.

අදාළ නිවේදනය පහතින්..

Image

මෙලෙස ඝාතනයට ලක් වූයේ ප්‍රියන්ත කුමාර දියවඩන නමැති කළමනාකාරවරයෙක්.

මේ අතර මෙම ඝාතනය පිටුපස ඇත්තේ ඉස්ලාම් අන්තවාදය බවට මේවන විට අනාවරණය වී තිබෙනවා.

පොලිස් ප්‍රධානියෙකුගේ අනාවරණය

නැගෙනහිර සියල්කොට් නුවර පොලිස් ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවය වෙත මෙම ඝාතනය පිළිබඳ අනාවරණයක් සිදු කොට ඇති අතර ඔහු රොයිටර් පුවත් සේවයෙන් ඉල්ලා ඇත්තේ තම අනන්‍යතාව හෙළි නොකරන ලෙසට යි.

පෝස්ටරයක් ගලවා දැමීම හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනයට ලක්ව ඇති බව අදාළ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පෝස්ටරයේ ඉස්ලාමීය වැකි සඳහන් කර තිබූ බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලාංකික කළමනාකාරවරයාගේ එම ක්‍රියාවෙන් ඉස්ලාම් දහමට අපහාස වූ බව පවසමින් ඔහුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර මහ මගදී සිරුර ද ගිනි තබා ඇති බව සඳහන්.

අමානුෂික ඝාතනය

එරට “රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස්” නමැති සමාගමට අයත් කර්මාන්ත ශාලාවක ප්‍රියන්ත දියවඩන මහතා සේවය කර ඇත්තේ ප්‍රධාන කළමනාකරු ධූරයේ යි.

අදාළ කර්මාන්ත ශාලාව තුළ පිහිටි සිය කාර්යාලය තුළ අලවා තිබූ පෝස්ටරයක් ගලවා දැමීමෙන් අනතුරුව විශාල පිරිසක් අදාළ කර්මාන්ත ශාලා භූමියට පැමිණ ප්‍රියන්තට වධ හිංසා පමුණුවා ඝාතනය කොට සිරුරට ගැනි තබා ඇති බවට යි රොයිටර් පුවත් සේවය අනාවරණය කරන්නේ.

ඔහු සේවය කළ ආයතනයේම සේවකයන් පිරිසක් ද ඝාතකයන් අතර සිටින බව සඳහන්.

සිරුර සමග සෙල්ෆිත් අරන්

ඝාතනය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද පාකිස්තාන සමාජ ජාල තුළ සැරිසරන අතර ඉතා විශාල පිරිසක් ප්‍රියන්ත මහතාගේ ඇඳුම් ඉරා දමා ඔහුට පහර දෙන ආකාරය එහි දර්ශනය වනවා.

මියයන තෙක් ඔහුට ඒ ආකාරයෙන් වධ හිංසා පැමිණවීමෙන් අනතුරුව ඔහුගේ සිරුරට ගිනි තබන ආකාරය ද එහි දැක්වෙන අතර, අදාළ වීඩියෝවෙහි වැඩිදුරටත් දර්ශනය වන්නේ එම ස්ථානයේ සිටි විශාල පිරිසක් පැමිණ ප්‍රියන්ත මහතාගේ මළ සිරුර සමග සෙල්ෆි ඡායාරූප ද ගන්නා ආකාරය යි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් 50ක් පමණ දෙනා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන සහකාර පොලිස් කොමසාරිස් මොහොමඩ් මුර්ටාසා මහතා පවසනවා.

අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝව ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව එම පිරිස අත්අඩංගුවට ගත් බව යි ඔහු සඳහන් කළේ.

ජනපතිට ලැජ්ජයිලු

මේ අතර සියල්කොට්හි කර්මාන්තශාලාවක ශ්‍රී ලාංකික කළමනාකාරුවෙකු අමානුශික ලෙස ඝාතනය වීමේ සිද්ධිය පාකිස්තානයට මහත් ලැජ්ජාවක් බව එරට ජනාධිපති ඉම්රාන් ඛාන් මහතා පවසනවා.

මේ පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්, එම ක්‍රියාවලියේ දී කිසිදු අඩුපාඩුවක් සිදු වීමට ඉඩ නොමැති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ආගමට අපහාස කළ බව පවසමින් ශ්‍රී ලාංකික කළමනාකාරවරයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිය සංවිධානය ගැඹුරින් විමර්ශනය කරමින් සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද පවසනවා.

ඝාතනය පිටුපස සංවිධානයක්

මේ අතර මෙම ඝාතනය පිටුපස TLP නමැති සංවිධානය සිටින බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

TLP නමින් හැඳින්වෙන්නේ ටෙහ්රීක්-ඊ-ලබ්බයික් පාකිස්තාන් (Tehreek-e-Labbaik Pakistan) නමැති සංවිධානයක්වන අතර එය එරට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් ලෙසට යි සැළකෙන්නේ.

එය 2015 වසරේ දී ආරම්භ වූ සුන්නි මුස්ලිම් සංවිධානයක් වනවා.

ප්‍රියන්ත දියවඩන මහතා ඝාතනය කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවේ, අදාළ ඝාතනයට සම්බන්ධවන ඇතැමුන් TLP සංවිධානයේ පාඨ උච්ඡාරණය කරන අයුරු ද නිරීක්ෂණය වීම මෙම ඝාතනය පිටුපස අදාළ සංවිධානය සිටින බවට එක් සාධකයක් වී තිබෙනවා.

බොරු තහනම

ඉම්රාන් ඛාන් මහතාගේ ආණ්ඩුව විසින් TLP සංවිධානය තහනම් කිරීමට තීරණය කළ අතර එය ත්‍රස්ත සංවිධානයක් ලෙසට ද නම් කිරීමට පියවර ගැනුනා.

ආණ්ඩුවේ එම පියවරත් සමග TLP සංවිධානය පසුගිය ඔක්තෝබරයේ ලාහෝර් නුවර දරුණු ගැටුම් නිර්මාණය කළ අතර එහි දී පොලිස් නිලධාරින් 06ක් පමණ මරණයට පත් වූවා.

මෙම ගැටුම් හමුවේ ආණ්ඩුව අඩියක් පසුපසට ගෙන තීරණය කළේ TLP සංවිධානය මත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යි.

පිළිලයක් වූ TLP

TLP සංවිධානය සම්බන්ධ වූ අපරාධ සිද්ධිවල පළමුවැන්න මෙය නොවන අතර පසුගිය කාලය පුරාම ඉස්ලාම් ආගමට අපහාස කළ බව පවසමින් පාකිස්තානය තුළ සිටින අන්‍යාගමිකයන් ඉලක්ක කර සිදු කළ ඝාතන රැසක් වාර්තා වූවා.

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු පාකිස්තාන තානාපතිවරයාවන හුසේන් හක්කානි මහතා පවසන්නේ මේවන විට ආගමට අපහාස කළ බව පවසමින් සිදුවන ඝාතන සාමාන්‍යකරණය වී ඇති බව යි.

TLP සංවිධානය කොතරම් දරුණු වී ඇත්දැයි යන්න ඊට කදිම සාක්ෂියක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රියන්ත කුමාර දියවඩන

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්ථානය වෙත ගොස් ඇත්තේ මීට වසර 11කට පෙරයි.

ඔහු නිෂ්පාදන ඉංජිනේරුවෙකු ලෙස පේරාදෙණිය සරසවියේ 1993 වසර කණ්ඩායමෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධි ලද වෘත්තීයවේදියෙකු වනවා.

2010 වසරේදී ඔහු පාකිස්ථාන ක්‍රසන්ට් ටෙක්ස්ටයිල් ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස එක් වූ බව යි වාර්තා වන්නේ.

ඔහු රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් වෙත සම්බන්ධ වී ඇත්තේ 2012 වසරේ දී යි.

ඔහු එහි ප්‍රධාන කළමනාකරු ධූරය හොබවා තිබෙනවා.

ප්‍රියන්ත මහතා ගනේමුල්ල - වැලිපිහිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විවාහකයෙකු වන ඔහු දෙදරු පියෙකු බව ද සඳහන්.

ඔහුගේ පුතුන් දෙදෙනා වයස අවුරුදු 14ක් සහ 9ක් වන බව සඳහන්

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 09:55