April 28, 2024

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි - ජලාශ 14ක් තවදුරටත් වාන් දමයි Featured

November 11, 2021

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, පේදුරුතුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් පවතිනවා.

එය රැඳී ඇත්තේ, උතුරු අක්ෂාංශ 11.7ත් නැගෙනහිර දේශාංශ 81.6ත් ආසන්න ප්‍රදේශයේ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එය වයඹ දෙසට ගමන් කර, අද (11) දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරනවා.

දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි‍යි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පෙන්වා දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං ද ඇති විය හැකි බවයි නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් අද දින සවස් කාලය වනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම්දෙනු ලබන අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනවා.

පවතින වර්ෂාපතනයත් සමග දිවයිනේ ජලාශ 14ක් තවදුරටත් වාන් දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයක දැක්වුණේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙකක්, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3ක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි.

එමෙන්ම පොල්ගොල්ල සහ වික්ටෝරියා ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර තිබෙනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ ගංඟාවල ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බවයි.

Rate this item
(0 votes)