May 02, 2024

නාය යෑම් අනතුරු ඇඟවීම් වල අවුලක් - දිවි අහිමි වූයේ දැන දැනමද?

November 10, 2021

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට ආපදා ගැටළු ඇති වී තිබෙනවා. ගංවතුර, නායයාම්, අකුණු අනතුරු, මාර්ග අවහිර වීම් හේතුවෙන් ජන ජිවිත දැඩි බලපෑමකට ලක් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විටින් විට ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. 

මෙලෙස බලපෑමට ලක්ව ඇති අදාළ ප්‍රදේශවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කර ඇති අතර අදාළ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු හරහා දැනුවත් කිරීම් සිදු කළ අතර පසුගිය දින කිහිපය තුලම නාය යාම් ඇති වූ අතර ජිවිත ගණනාවක් එයට බිලි වුණා.

එම අවස්ථාවලදී දකින්නට ලැබුණු පොදු කාරණය වූයේ ජනතාව අතරට නිවැරදිව තොරතුරු ගලා යාමක් සිදු නොවීමයි. මිනිසුන්ව දැනුවත් කර ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කොට අවතැන් කඳවුරු වෙත යැවීම ගැටළුවක් බවයි පෙනී යන්නේ. 

කෑගල්ල - රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ ඊයේ සිදු වූ නායයෑම පිළිබඳව ඔවුන්ව දැනුවත් කර නොමැති බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. 

සිද්ධියෙන් රෝහල්ගත වී සිටින අයගේ ඥාතියෙක් මේ සම්බන්ධයෙන් පළ කලේ මෙවැනි අදහසක්.

"මගේ මස්සිනා තමයි ගෙදර හිටියේ. අවධානම් නැහැයි කියලා තමයි ඒගොල්ලන්ට ඒකෙ ඉන්න කියලා තියෙන්නේ. උඩ කට්ටියට අවධානම් කියලා තමයි ඒගොල්ලන්ට අයින් වෙන්න කියලා තියෙන්නේ. ඒගොල්ලන්ට වෙනම ඉඩම් දීලා අයින් කළා. මේගොල්ලන්ව එහෙන්මම තිබ්බා. නමුත් උඩ සම්පුර්ණයෙන් කඩාගෙන මේ ගේත් එක්කම යට වුණේ. මේකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ ප්‍රාදේශීය ලේකම්. අවධානමක් නැහැ කියලා කිව්වම අයින් වෙන්නේ නැහැනේ."

කෙසේ වෙතත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ නාය යාමෙන් මිය ගිය නිවැසියන්ට ඊට පෙර දින එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබූ බවයි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.

"මෙම පවුල වෙත රඹුක්කන ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත ග්‍රාමනිලධාරී ඇතුළු නිලධාරීන් උපදෙස් ලබා දීලා තියෙනවා නිවසේ අනතුරුදායක තත්වයක් පවතිනවා නිවසෙන් ඉවත් වෙන්න කියලා ඒ නිවසටත් තවත් නිවසක්ටත්. නමුත් එක නිවසක අය ඉවත් වෙලා තියෙනවා නමුත් මේ නිවසේ අය ඒ උපදෙස් නොතකා නිවෙස් තුල සිටි නිසා කණගාටුදායක තත්වයකට මුහුණ දීලා තියෙනවා."

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ, පොලීසිය සහ අධිකරණය එක්ව එම පුද්ගලයින් නාය යාමේ අනතුරු ඇගවීමේ ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

කෑගල්ල - රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ ඊයේ අලුයම පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි 36 හැවිරිදි මව, ඇගේ 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි තවත් ඥාති දියණියක් ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසු වු 40 හැවිරිදි පියා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කෑගල්ල රෝහලටයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 14:00