May 02, 2024

දිස්ත්‍රික්ක රැසකට රතු නිවේදන

November 09, 2021

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පළාත් මෙන්ම දිස්ත්‍රික්ක රැසකට ඊයේ දින (08) සිට රතු නිවේදන නිකුත් කර කෙරුණා.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව අවතැන් වී ඇති අතර, ඔවුන්ගේ නිවාස මෙන්ම මහාමාර්ග ද ජලයෙන් යට වී ඇති අයුරුයි දක්නට ලැබෙන්නේ.

මේ හේතුවෙන් මහා වාරි ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල වීමත් සමග, එම ජලාශ මේ වනවිට පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි බොහොමයක් පිටාර යමින් පවතින අතර, තවත් ජලාශ කිහිපයක් පිටාර මට්ටමට ආසන්නව පැමිණ ඇති අයුරු දක්නට ලැබෙනවා.

අද පෙරවරුව (09) වන විට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ ත්‍රිත්ත්වයක් පිටාර යමින් පවතින බවයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

රාජාංගනය, අංගමුව සහ තුරුවිල යන ජලාශ ඊට ඇතුළත් වන අතර, මෙම ජලාශවල උපරිම ධාරිතාව අනුපිළිවෙළින් 86%ක්, 98%ක් සහ 100%ක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම, අද දිනය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාන් දැමීමට ආසන්න මට්ටමේ පවතින සෙසු ජලාශවල උපරිම ධාරිතාව ද සඳහන් වුණේ මෙලෙසින්.

විලච්චිය ජලාශය සියයට සියයක උපරිම ධාරිතාවට පැමිණ තිබුණ ද එය තවමත් පිටාර ගොස් නැහැ.

මේ අතර සෙසු ජලාශවල වාන් මට්ටමට පැමිණීමේ උඅපරිම ධාරිතාව සටහන් වූයේ මෙලෙසින්.

ඒ අනුව කලාවැව 94%ක් ද, තිසා වැව 85%ක් ද, නාච්චදූව 73%ක් ද, නුවර වැව 68%ක් ද, අභය වැව 68%ක් ද, මහා කනදරා 46%ක් ද, මානන්කට්ටිය සහ පදවිය 41%ක් මෙන්ම හුරුළු වැව 40%ක උපරිම ධාරිතාවකට ආසන්නව පවතින බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ හේතුවෙන් අදාළ ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට ද අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අධික වැසි සමඟ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 11 ක් වාර්තා වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇත්තේ.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්ව‍යෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 78 කට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුත්ගමුව ග්‍රාම නිලධාරි වසමේ නිවාස 42ක් ජලයෙන් යට වී ඇති අතර පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරන්කුලිය වේලානිය ගම්මානයේ නිවාස 25ක් ජලයෙන් යට වී තිබෙනවා.

මහඔය පිටාර ගැලීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ගස් කඩා වැටීම හේතුවෙන් රඹුක්කන – මාවනැල්ල මාර්ගය අවහිර වී තිබෙනවා.

මේ අතර විදේශිකයින් රැගත් බස් රථයක් පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ජල පහරකට හසු වීමේ සිදුවීමක් වාර්තා වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

Rate this item
(0 votes)