April 27, 2024

ආණ්ඩුවේ පාලනය කරන පිරිස ගැන ජවිපෙන් හෙළිදරව්වක්

ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට ගොස් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරනවා.

ඒ අනුව සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම ඩඞ්ලි මුදලාලි මිල තීරණය කළ බවත් කිරිපිටි මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාර කරන අය බවත් ඔහු සඳහන් කළා.

ඊයේ(08) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවා.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද සඳහන් කළා.

"ආණ්ඩුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති  වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වුණු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර  පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත්කරමින් කිරිපිටි, ගෑස්, පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කරලා ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවටබර පටවන එකයි."

"පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය  හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රු. 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1200කින්  විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි." යැයි ඔහු කියා සිටියා. 

"ආණ්ඩුවේ පාලනයත් මිල පාලනයත් ගිලිහී යාමෙන් පාරිභෝගික අධිකාරිය, පාරිභොගික  ඇමතිවරයා මොකද කරන්නේ? හිඟයකින් තොරව භාණ්ඩ සපයන්න කටයුතු කරන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මිල පාලනය ඉවත් කිරීමයි. මේ නිසා හිඟය හදපු අයම මිල වැඩිකරලා හිඟය අවසන් බව කියනවා. ජනතාවගේ කටින්ම කීයට හරි ගන්න බඩු දෙන්න කියලා කියයවලා ජනතාව වේදනාවට පත්කරලා. කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සු වැඩිමිලට හරි  කමක් නැහැ භාණ්ඩ දෙන්න කියන තැනට පොළඹවා තිබෙනවා. හැම භාණ්ඩයකටම මේ වැඬේ කරනවා.

ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට අද ගිහිල්ලා තියෙනවා. සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම ඩඞ්ලි මුදලාලි මිල තීරණය කළා. කිරිපිටි  මිල  තීරණය කරන්නේ  ඒ ව්‍යාපාර කරන අයයි. සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙනුත් එහෙමයි. තත්වය මේක නම් රාජපක්‍ෂ ආණ්ඩුව මොකද කරන්නේ? වරායේ හිරවී තිබෙන භාණ්ඩ මුදාහරින්න විදේශ විනිමය සචිතයෙන් ඩොලර් මිලියන 50ක් නිදහස් කර දුන්නා. ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සාධාරණය ඉෂ්ට කිරීම ආණ්ඩුවේ වගකීමක්. සතොසෙන් ඇති තරම් භාණ්ඩ ගෙනත් දෙනවා, යට ඇඳුම් පවා ගෙනත් තියෙන බවට පම්පෝරි ගැහුවත් අද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට කියන්න දෙයක් නැහැ. හේතුව අද ආණ්ඩුවේ පාලනයක් නැහැ. පීඩාවට පත්වී සිටින ජනතාවට  ආණ්ඩුව පහර පිට පහර දෙමින්  ඉන්නවා. තමන්ගේ මිත්‍රයින්ට සැලකිලි කළාට ජනතාව ගැන  හිතන ආණ්ඩුවක් නෙවෙයි මේක. " යැයිද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 05:02