April 27, 2024

චීන පොහොර වගාවන්ට දාන්න එපා! හිටපු ඇමතිගෙන් හෙළිදරව්වක්

විශේෂඥ දැනුමකින් හා පදනමකින්  තොරව ලහි ලහියේ මෙරටට චීනයෙන් ගෙන ඒමට සැළැසුම් කොට ඇති බැක්ටීරියා සහිත කාබණික පොහොර භාවිතා නොකරන ලෙසත්, තේ පර්යේෂණායතනය විසින් නිර්දේශිත පොහොර පමණක් තේ පැලවලට යොදන ලෙස  විශේෂයෙන්ම කුඩා තේ වතුහිමියන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

ක්ෂණිකව තේ දළු නැවත ලබා ගැනීමට හැක්කේ රසායනික පොහොර භාවිතයෙන් පමණක් බවත් හදිසි තීරණ ගෙන වසර 150 ක මෙරට තේ ආර්ථිකයට හානි නොකරණ ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

නුවරඑළිය නගරයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහෙදී තව දුරටත් අදහස් දැක්වමින් නවීන් දිසානායක මහතා කියා සිටියේ,

"චීනයෙන් කාබණික පොහොර ගේන්න රජය සැළැසුම් කොට තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙම කටයුත්ත සිදු කොට ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරවයි. දැන් අපට දැන ගන්න ලැබී තිබෙනවා එසේ ගේන කාබණික පොහොරවල බැක්ටීරියා අඩංගු බවට. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට ඉතාමත් නිර්භීතව කොන්ද කෙළින් තියාගෙන මෙම පොහොරවල බැක්ටීරියා තිබෙනවා කියලා ප්‍රකාශ කිරීම සම්බන්ධව. මක් නිසාද කියනවනම් මේක අනුමත කරන්න කියලා ඔවුන්ට  නානාවිධි බලපෑම් ආවා.

බැක්ටීරියා පසට ගියොත්  විශාල හානියක් පසට සිදු වෙනවා. විශේෂයෙන්ම තේ කර්මාන්තයට විශාල හානියක් මේකෙන් සිදු වෙනවා. සමහර අය මේ ගැන දන්නවා කිය කියා විශේෂඥ පදනමකින්  තොරව ඉතාමත් ක්ෂණිකව ලහි ලහියේ තීරණ ගන්නවා. මේකේ පල විපාක අද නෙවෙයි එන්නේ තවත් වසර පහ හයකින් පස්සෙයි. රසායණික පොහොර  නැති නිසා දැනටමත් තේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙලා. තේ පැලය කියන්නේ විශේෂිත වු පැලයක්. තේ දළු සියයට විස්සක් පලවනි තලයෙන් ඉවත් කලාට පස්සේ යම්  කිසි කාල සීමාවක් තුල ඉතාමත් ක්ෂණිකව තේ දළු ආයෙත් උඩට ගන්න අවශ්‍යයි. ඒක ගන්න යුරියා හා නයිට්‍රිජන් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක ගත හැක්කේ රසායණික පොහොරෙන් පමණයි. කාබණික පොහොරෙන් ගන්න පුළුවන්. ඒත් ඊට වඩා හතර පස් ගුණයක් වැඩි කාබණික පොහොර ප්‍රමාණයක් වගාවට දාන්න අවශ්‍යයි. ඒකෙන් විශාල බැක්ටීරියා ප්‍රමාණයක් පසට එකතු  වෙනවා.

ඒ වගේම බලශක්කිය ගැන තව කරුණක් මට කියන්න අවශ්‍යයි. අපිට දැන් ආරංචියි ඇමරිකන් සමාගමකට මෙගාවොට් 500 ක බලාගාරයක් හදන්න දෙන්න යනවා කියලා. විනිවිද භාවයෙන් එම තීරණය ගත්තා නම් ඒ සම්බන්ධව කිසිම ගැටළුවක් නැහැ. ඇත්ත වශයෙන්ම ඒක ලංකාවට එන ආයෝජයක්. නමුත් ඊට බද්ධ කරලා තියෙනවා ගෑස් සපයන කොන්ත්‍රාත්තුවක්. වසර 10 කට පමණ ඒ කොන්ත්‍රාත්තුව බද්ධ කරලා තියෙනවා. මේක ඩීල් එකක්. ඒ  ඩීල් එක ඇතුලේ තවත් ඩීල් එකක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. මහ බැංකු වංචාව  ගැන කතා කරපු අය අද සම්පුර්ණම කට වහගෙනයි ඉන්නේ. මහ බැංකු වංචාවට වඩා හතර ගුණයක විතර මගඩියක් මෙතෙන තියෙන්නේ." යනුවෙනි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 11:39