March 29, 2024

රවී, නවින්, අර්ජුන තුන් කට්ටුව රනිල් පන්නන නව සැලැස්මක - කරුගෙත් සහයෝගය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පක්ෂයේ තනතුරු මුල් කොටගෙන මත ගැටුමක් ඇති කරගෙන තිබෙන රවි කරුණානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම නව උපාය මාර්ග කීපයකට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ.

ඒ අනුව පක්ෂයේ කිසිදු තනතුරක් බාර නොගෙන පක්ෂ සාමාජිකත්වය පමණක් රැඳී සිටීමට රවි කරුණානායක, නවීන් දිසානායක හා අර්ජුන රණතුංග යන හිටපු අමාත්‍යවරුන් තිදෙනා තීරණය කොට තිබේ.

මේ තිදෙනාගෙන් රවි කරුණානායක මහතා තමා දැරූ උප නායක ධුරය ප්‍රතික්ෂේප කරමින් පක්ෂ මහලේකම් ධුරය ඉල්ලමින් ප්‍රසිද්ධියේම පක්ෂ නායකයා සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.

මේ වන විට එම උප නායක ධුරය සඳහා හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාව පක්ෂනායක වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ.

නවින් දිසානායක මහතාට ඔහු දැරූ පක්ෂ ජාතික සංවිධායක ධුරය යළි ලබා දුන්නද මේ වන තුරුත් ඔහු එම ධූරය භාරගෙන නොමැත.

අර්ජුන රණතුංග මහතාද තමන්ට ලබාදුන් පක්ෂ උප සභාපති ධූරය මෙතෙක් භාරගෙන නොමැත.

මේ තිදෙනා පසුගිය දිනෙක හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමඟ ඔහුගේ නිවසේදී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ සාමාජිකත්වය දිගටම රැදී සිටීමට තීරණය කොට තිබේ.

එසේ පක්ෂය තුළ රැඳී සිටිමින් කරු ජයසුරිය මහතාව එක්සත් ජාතික පක්ෂ නායකයා කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මේ තිදෙනාගේ ඉලක්කය වී තිබේ.

එමෙන්ම කරු ජයසූරිය මහතා නායකත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයටද සහාය දීමට මෙම තිදෙනා ජයසූරිය මහතා සමඟ සමග එකගතාවයකට ද පැමිණ තිබේ.

මීට පෙර කරුණානායක, දිසානායක හා රණතුංග යන මහත්තුරුන්ට තිදෙනා පක්ෂයෙන් ඉවත් වී සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට එක් වීමට නියමිතව තිබුණි.

Last modified on Tuesday, 26 January 2021 13:18