May 04, 2024

වයඹින් තවත් රාජපක්ෂවරයෙක් දේශපාලනයට

වසර දෙකක පමණ කාලයකින් කල් ගොස් පළාත් සභා මැතිවරණය 2022 වර්ෂයේ මුල පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී පාලක රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයෙකු දේශපාලනයට පිවිසීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

බාල පුත්‍රයා

ඒ අග්‍රාමාත්‍යවරයාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතායි.

ඔහු පොදු ජන පෙරමුණේ වයඹ මහ ඇමතිවරයා ලෙස ඉදිරිපත් වීමට නියමිත බවට රාවයක් විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැතිරෙමින් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලඥයන් තුලද පක්ෂ විපක්ෂ අදහස් පළවෙමින් තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සන්ධානයක මහ ඇමති ඇමැති අපේක්ෂකයා වීමට සූදානම් බව හිටි හැටියේම ප්‍රකාශ කලා.

ඒ රෝහිත රාජපක්ෂ මහතාගේ මෙම දේශපාලන ආගමනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා

අග්‍රාමාත්‍යවරයා පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

කලක පටන් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කටයුතු කරමින් වැඩ බලන්නේ රෝහිත රාජපක්ෂ මහතායි.

පසුගිය දින කිහිපය පුරා රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසැල් වල අඩුපාඩු සොයා බලමින් ඒ අවස්ථාවේම ඊට විසඳුම් ලබාදෙමින් ක්‍රියාකාරීව කටයුතු කිරීමත් සමගයි මෙම මහ ඇමති අපේක්ෂක කතාව එළියට පැමිණියේ.

පළාත් සභා මැතිවරණය තබා ජනමතය පිළිබදව තක්සේරුවක් කිරීමට විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට අවශ්‍යව තිබෙන බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 15:10