May 06, 2024

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව හෙට ඇරඹෙයි

September 20, 2021

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමී ව පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සැසිවාරය අද(20) ආරම්භ වනවා.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහභාගී වීමට නියමිතයි.

මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ එරටට ළගා විය.

පළමු කථිකයා බ්‍රසීලය

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත ව ඇත්තේ අනිද්දා දිනයේදී යි.

මෙවර 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව හෙට නිව්යෝක්හි දී ආරම්භ වීමට නියමිත යි.

හෙට බ්‍රසීලය සමුළුව ප්‍රථමයෙන් ඇමතීමට නියමිත ව ඇති අතර, දෙවන කථිකයා වන්නේ අමෙරිකා එක්සත් ජනපදය යි.

අවසන් කථිකයා ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථාන නියෝජිතයා මහා මණ්ඩල සැසියේ අවසාන දිනයේ අවසාන කථිකයා ලෙස ලැයිස්තුගත කර තිබෙනවා. අදාළ නියෝජිතයා මීට පෙර පැවති ඇෆ්ගන් පාලනය විසින් පත් කළ අයෙකු වන අතර, තලේබාන් පාලනය විසින් ඔහුගේ ධුරය සම්බන්ධව මෙතෙක් විරෝධය පළ කර නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවර සැසිවාරයේ දී කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් රාජ්‍ය නායකයින්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නායකයින් 60 දෙනෙකු වීඩියෝ තාක්ෂණය මගින් සමුළුව ඇමතීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 10:47