May 01, 2024

(EXCLUSIVE) මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන මහින්ද සමරසිංහට හිමිවෙන සුපිරි තනතුර

September 18, 2021

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට මේවන විට රාවයක් පැතිර යමින් පවතිනවා.

ඒ පිළිබඳ අප කළ විමසීමකදී මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා ලබන ජනවාරි මාසයේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මන්ත්‍රීධූරයෙන් ඉවත් වී රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා යොමු වීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළා.

ජනපතිගේ කැමැත්ත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු සංචාරය ආරම්භ කිරීම සදහා දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම මහින්ද සමරසිංහ මහතා සමග සාකච්ජා කොට ඇති අතර එහිදී ජනාධිපතිවරයා අමෙරිකානු තානාපති ධූරය බාරගන්නා ලෙස සමරසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

මේ වනවිට මානව හිමිකම් ප්‍රශ්නය මුල්කරගෙන ජාත්‍යන්තරය තුළ ලංකාව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති අතර ඒ සඳහා ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය බැවින් එම ධූරය බාරගැනීම සදහා නියම සුදුස්සා මහින්ද සමරසිංහ මහතා බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මන්ත්‍රී ධූරයට සුදුස්සා තෝරයි

මහින්ද සමරසිංහ මහතා අවස්ථා කිහිපයකම මානව හිමිකම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහිත පුද්ගලයකු වන අතර වරක් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්කිරීමටද සමරසිංහ මහතා පියවර ගෙන තිබුණා.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එම තනතුර පුරප්පාඩු වී තිබුණා.

මේ අතර මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සදහා කළුතර දිස්ත‍්‍රික් මනාප ප‍්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 September 2021 12:08

Related items