May 02, 2024

අසේල සම්පත් CID භාරයට ගත් හේතුව මෙන්න

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) දින රාත්‍රීයේ ඔහුගේ නිවසේ දී අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් සම්බන්ධව සිටි බවට දැන් අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද (26) දිනයේ මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කර තිබුණා‍.

අසේල සම්පත් අත්අඩංගුවට ගැනීමට හේතුව වී තිබුණේ ඔහු විසින් එන්නත්කරණය පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් කරන ලද පැමිණිල්ලකි.

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ට්‍රසෙනෙකා එන්නත බාල කර යම් ආකාරයක මිශ්‍ර කිරීමක් සිදුකර ජනතාව අතරට ලබාදීමට උත්සාහ කරන බවට වන අසත්‍ය තොරතුරක් අසේල සම්පත් විසින් ප්‍රචාරය කර තිබුණු බවට ඔහුට විරුද්ධව කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

එහිදී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම පුවත අසත්‍යයක් බවත්, එමඟිල් මෙරට නිරෝධායන ක්‍රියාවලියට මෙන්ම එන්ත්කරණ ක්‍රියාවලියට බාධා ඇතිවන බවත්, ඒ පිළිබඳව මහජන විශ්වාස බිඳ වැටෙන බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබූ බවයි.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාරතුමේන්තුව විමර්ශන සිදුකර ඇති අතර යුටියුබ් හරහා සහ සමාජ මාධ්‍ය හරහා අසේල සම්පත් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණු බවත්, ඒවාට සමාජ මාධ්‍ය පරිශිලකයන් විසින් දමා තිබූ කමෙන්ට් පරික්ෂා කිරීමේදී ලබාගත් විද්‍යාත්මක සහ තාක්ෂණික පරික්ෂණ සාක්ෂි අනුව මෙවැනි ප්‍රකාශයන් හරහා රටේ ජනතාව අතර එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩ නැඟෙන බවට පෙනී ගොස් තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා. 

එම කරණු සලකා බැලීමෙන් අනතුරුව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ අඥා පනතේ ප්‍රතිපාදනත්, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනත් යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද අජිත් රෝහණ මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 16:01