May 03, 2024

ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක්! Featured

වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙම අඩු පීඩන පද්ධතිය ඉදිරි පැය 24 තුළ තව දුරටත් වර්ධනය වනු ඇති බවයි.

එමෙන්ම එය බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් එම කලාපය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය මත දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ ඉහළ යෑමක් ද සිදුවීමට නියමිතයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මීගමුවේ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් පනහේ සිට හැට දක්වා ඉහළ යා හැකි බව යි පැවසෙන්නේ.

දිවයින වටාම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 දක්වා තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 11:59