May 10, 2024

ජනතා අභියෝගයට ඇමැති ලාන්සා දැඩි තීන්දුවක් ගනී! ලේකම්ටත් නියෝග කරලා

පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරනවා.

එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී එලෙස පැවසුවා.

වත්තල හා ජා ඇල ප්‍රදේශයන් ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වගුරු බිම් ගොඩකරගෙන සිදු කර තිබෙන අනවසර පදිංචි වීම් බැවින් අපි තීන්දු කරලා තියෙනවා අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් වාර්තා ලබාගෙන අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්න." යැයිද රාජ්‍ය ඇමැතිවරයා නියෝග කර තිබෙනවා.

ඇමැතිගෙන් ලේකම්ට නියෝගයක්

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබා දී තිබෙනවා.

"අතීතයේ ජා ඇල, ඇල ඉදිකිරීමේදී සැලසුම් කරලා තිබුනේ ජලය වැඩිවුනාම එම ජලය මතුරාජවෙල තෙත් බිම් කළාපයට ගලා බසින විදියට. මේ වගුරු බිම් වලට ජලය ගලා යන්න තිබුනු එම මාර්ග ඇතැම් ව්‍යාපාරික මහතුන් අනවසර ලෙස ඉඩම් කුණු කොල්ලයට අරගෙන අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ඒ සියල්ලක්ම රජයට යළි පවරාගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ එම ප්‍රදේශ ජලයෙන් යටවෙන එක නැවැත්වීමට කටයුතු කරනවා" රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවන ස්ථාන ආශ්‍රිත නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණා.

පසුගිය දිනවල ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යට වුණා. අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් තවමත් ජාඇල - කදාන සහ ජා ඇල – ගම්පහ මාර්ග ජලයෙන් යට වී තිබෙනවා.

ගම්පහ ජනතාව පෙන්වා දෙන්නේ කිසි දිනෙක බලනොපාන ලද මෙම ගංවතුර තත්ත්වය නිසා කුඹුරු ඉඩකඩම් දේපොළ ව්‍යාපාර සියල්ල විනාශයට පත්ව ඇති බවයි.

වෙළෙඳසැල්වල බඩුබාහිරාදිය සියල්ලක්ම පාහේ විනාශ වී ඇති ඇති අතර ලක්ෂ ගණනින් අලාභහානි සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගම්පහ, මගලේගොඩ ප්‍රදේශයේ දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ගෙන ආ පස් කඳු හේතුවෙන් ජලය බැස නොයන බව පවසමින් ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවක් ද පැවැත්වීමට සූදානම් වුවද පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගත්තේ නිරෝධායන නීතිරීති කඩවන බව පවසමිනි.

දේවානි නිසා ගංවතුර

මේ අතර එම විරෝධතාවට පැමිණි කාන්තාවක් පවසා සිටියේ "මම බය නැතිව කියනවා නිමල් ලංසා. එයා කිව්වේ හයිවේ එකේ කිසිම කෙනෙකු යට වෙලා නෑ කිව්වා. ලංසාට මෙහාට එන්න කිව්වා නම් අපි වතුරේ ඔබලා හරි ගන්නවා. එච්චර වතුර මෙහෙ"

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය 07 වැනිදා සහභාගී වෙමින් පැවසූවේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශ ගංවතුරට යටවෙනවා කියන චෝදනාව යොමු වෙන්න ඕනේ එම සංවර්ධන ව්‍යපෘති සිදු කරගෙන යනකොට ඒවාට බාධා කරපු අයට හා මධ්‍යම අධිවේගයේ සැලසුම් වෙනස් කළ යහපාලන රජයට බවයි.

"මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර පැති යට වෙනවා කියලා කියනවා. මේ වෙනකොට අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ. හැබැයි සමහර වැඩ පටන් ගත්තාම ඒවා කරගන්න බැරිවෙන්න ප්‍රායෝගිකව විවිධ බාධක දැම්මා. මධ්‍යම අධිවේගයේ ගම්පහ ප්‍රදේශයේ කෘඩියා සිලනිකා ගහේ ප්‍රශ්නය නොදැම්මනම් මේ වෙනකොට එම ප්‍රදේශයේ ඇල මාර්ග හාරලා, ඇල මාර්ග සංවර්ධනය කරලා අධිවේගී මාර්ගය ක්‍රමවත්ව හදන්න තිබුනා. හැබැයි ඒ බාධා කරපු අයට තමයි මේ ගංවතුර ප්‍රශ්නයට අදාළ චෝදනා යොමු වෙන්න ඕනේ. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ අධිවේගී මාර්ගය යන්න තිබුනේ කුලුනු මතින්. යහපාලනය ඇවිල්ලා ඒවා වෙනස් කළා. ඒ නිසා සමහර ප්‍රශ්න අපිට නිවැරදි කරගෙන යන්න සිදුවෙලා තියෙනවා." යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

"අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ"යනුවෙන් ලාන්සා අමාත්‍යවරයා කළ ප්‍රකාශය ගැන ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 08:57